නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වෙයි

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා හෙට සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කරන අතර එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.

එමෙන්ම එහිදී එරට ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කළා – බලශක්ති ඇමති

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් අද දහවල් සිදු වුණා.

විදුලිය බිඳ වැටීම නිසා දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම්වන්න – ලදුදෙ

විදුලිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ගේට්ටු සහ අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියා විරහිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම් වන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක් – විදුලිබල ඇමති

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කොළඹ ජාතික රෝහල, ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශවලට හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිවෙස් වල සූර්ය බල පද්ධති සවස 4.00 වන තෙක් ජාතික පද්ධතියෙන් විසන්ධි කරන්න – ලංවිම

නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය බල පද්ධති සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය බල පද්ධති අද (09) සවස 4.00 තෙක් ජාතික පද්ධතියෙන් විසන්ධි කර තබන ලෙසයි ඉල්ලීමක් කර තිබෙන්නේ.

ගිනි ගැනීමට ලක්වූ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කිරීමට පියවර

කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) අවස්ථා දෙකකදී ගිනි ගැනීම් වාර්තා වුණා.

කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පවසා සිටින්නේ.

එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු කරන බවත් එම කාර්යංශය පවසනවා.

E-8 වීසා යටතේ දකුණු කොරියාවේ රැකියා සදහා විදේශගත වීමේ වුවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශගත විය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින්, එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබල දීමෙන් වලකින ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දන්වා සිටින්නේ.

බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද නිසා ලුණු හිඟය තවත් උග්‍ර වේවි – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය මගින් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් රටේ පවතින ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කරන්නේ.

එසේම ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව පෙබරවාරි 28 න් පසු අවසන් වන බවද ඔහු පවසා සිටියා.

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (07) ආරම්භ වුණා.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67a5d05eb1fc2pdf_page_0