විදෙස් රටක සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ දිවයිනට රැගෙන එයි

විදෙස් රටක සැඟව සිට අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ මෙරටට රැගෙන විත් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (15) රාත්‍රියේ අදාළ සැකකරුවන් මෙරටට රැගෙන ආ බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67b16add19e2dpdf_page_0

ඇල්ල රොක් ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ එය අසාර්ථක සහ අධික වියදම් සහිත නිසා – සංචාරක නියෝජ්‍ය ඇමති

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙළිකොප්ටර් යානා යොදා නොගත්තේ එය අසාර්ථක හා අධික වියදම් සහිත වීම හේතුවෙන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ පවසනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමට හෙළිකොප්ටර් යොදා ගැනීම තුළින් නිවැරදි ඉලක්කයට ගින්න නිවීමට නොහැකි බවත් එය අසාර්ථක වන බවට තමන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

යළිත් මෙවැනි ගිනි තැබීම් කටයුතු සිදු නොකිරීමට අවශ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“එක මිටට, ගොවි බිමට” වැඩසටහන ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වාගෙන යාම, කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලු කුඹුරු සහ ගොඩඉඩම් වගාකරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බලප්‍රදේශ 566 ක මෙය පැවැත්වෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි 13 ක් බේරාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 13 ක් බේරාගෙන තිබෙනවා.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් බවයි සඳහන් වෙන්නේ.

මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතර තවත් සිව්දෙනෙක් මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවත් ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් කෝටි 36 ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි 36 ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිළි කීපයක් තුළ ඔතා සඟවා ගෙන තිබී කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500ක “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙල අද සිට ඇරඹේ

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ‘එක මිටට ගොවිබිම’ ලෙස එය නම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරන්නේ.

මේ යටතේ දිවයින පුරා ඇති වගා නොකළ ඉඩම් හඳුනා ගැනීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ අනුමැතිය

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ සභාපතිත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව තිබුණා.

මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවට ද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමි වුණා.

වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

වසස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වැනි දින සිට ගෙවීමට සිදු කිරීමට අවශ්‍යය කටයුතු සිදුකරනු ලබන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අත්හැර දමා ඇති බව පැවසීම සම්පූර්ණයෙන් අසත්‍යයි – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන පුවත් වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා‍.

ඒ අනුව, එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති බව ද, මෙවර අයවැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් ද සිදුකර නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත්, ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට දැනුම්දීමක්

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම් උදය කුමාර පවසනවා.

13 වැනිදා පස්වරුවේ මෙම ගින්න හටගත් අතර, ඒ හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී, එම ගල් පුපුරායාමේ අවදානමක්ද මතුවී තිබුණු බවයි සඳහන් වන්නේ.

මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින්, ගල් පහළට පෙරළීමේ අවදානමක් ද ඇති බවත්, ඒ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය ධාවනය කළ යුතු බවට දැනුම්දෙන බවයි සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.