කෙහෙළියගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉවත් කිරීම ගැන නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැති ද? යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මගින් තහනමට ලක් කර තිබෙන තම සේවාදායකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවයි සඳහන් කර ඇත්තේ.

අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන අතර, එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අධිකරණය එහිදී දැනුම් දී ඇත්තේ.

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හා ඒ. ප්‍රේමශංකර් යන තිදෙනා අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල් හිටපු ජනපති මෛත්‍රී ගෙවා ඇති බව අධිකරණයට දැනුම්දෙයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ වන්දි මුදල නොගෙවීම හේතුවෙන්, ලබන අප්‍රේල් 29 වැනිදා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට, දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කර තිබුණා.

පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළ අතර, ඒ බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසයි එහිදී විනිසුරු මඬුල්ල දැනුම් දී ඇත්තේ.

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවයි

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු අත්තඅඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව අදාළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පළාගිය පුද්ගලයෙක් බවයි අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට මැදිහත් වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමකින් T-56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක් හා බෝර 12 ගිනි අවියක් සොයා ගෙන තිබෙන අතර, ඒ අනුව ඉඩම් හිමිකරු වන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෛද්‍යවරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනය​ක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි වෛද්‍යවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් ඇති අතර පසුව කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 09ක් තුවාල ලබයි

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ බූම් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ අය මීරිගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ජනපති විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන්ට පිරිනමයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් වෙත පිළිගන්වා තිබෙනවා.

මෙම සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ සඳහා මහ නාහිමිවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක, මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක්

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ, මේ සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සංදේශයක්ද භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්

මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිතව වසර 12ක සිර දඬුවම් හා රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා.

ඒ අනුව අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විත්තිකරුට නියෝග කළා.

එසේම, එම දඩ මුදල නොගෙවන්නේ නම්, අමතරව වසර එකහමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවට නියෝග කර ඇති බවද සඳහන්.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි, අබ්දුල් කාදර් සරීබ් නමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙනනේ.