ජනවාරි 17 සිට උසස් පෙළ උපකාරක පංති පැවැත්වීම තහනම්

2022 වර්ෂයේ උසස් පෙළ සිසුන් සඳහා වන උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළැඹෙන ජනවාරි 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන ලකුණු

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි. පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දියානු කණ්ඩායම තරඟාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහල් සහ නායක හර්දික් පාන්ඩයා සහ උමරන් මලික් කඩුළු 02ක බැගින් බිඳ දැමූ අතර අර්ෂදීප් සිංග් කඩුළු 03ක් බිඳ දැම්මා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක ජයක් ලැබුණු අතර ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසද ජයග්‍රහණය කළා.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවයි “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ජනවාරි මාසයෙන් ඔබ්බට යා හැකියි – ​ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තවදුරටත් පමාවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යා හැකි බවත් 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජයේ උත්සාහය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

CEB ඉංජිනේරු සංගමයේ සභාපති කළ ප්‍රකාශය අසත්‍යයක් – බලශක්ති ඇමති

දෙසැම්බර් 31 වනදායින් පසු දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බලාගාර තුනේම කටයුතු එකවර අක්‍රීය කිරීමට කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවන බවත් එවැනි තත්ත්වයක්ද ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව වැඩිවීමේ හැකියාවක් තියෙනවා – ජනක රත්නායක

ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු පමණක් ගල් අඟුරු ගෙන්විය හැකි බවත් එසේ වුවත් නැව් 20 කට වඩා ගෙන්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබන වසර තුළ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට ලක්ව ඇති බවත් ගල් අඟුරු නැති වුවහොත් මෙම වසරේ ජනවාරි මාසයේ තිබුණා මෙන් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ පදනමක් පවතින බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට බැංකුවක් ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කරයි

මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ද්විපාර්ශ්වික වෙළඳාම් සිදු කිරීම සඳහා එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව State Bank of India හි දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Vikas Goel සමඟ මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ Twitter පණිවිඩයේ දැක්වෙන්නේ.

අදාළ Twitter පණිවිඩය පහතින්,

98399e83b7043d7b32749059e5a24d45

සතොස පරිප්පු, හාල්මැස්සෝ ඇතුළු භාණ්ඩ වර්ග 5ක මිල අඩුකරයි

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

  • ලොකුලූණු 1KG – රු.5 කින් (නව මිල රු.185)
  • රතු පරිප්පු 1KG – රු.7 කින් (නව මිල රු.378)
  • මිරිස් 1KG – රු.15 කින් (නව මිල රු.1780)
  • හාල්මැස්සන් – රු.50 කින් (නව මිල රු.1100)
  • ටින් මාළු (දේශීය) – රු.10 කින් (නව මිල රු.480)

LPL අවසන් වටයේ තරග අද

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග අද (21) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන Kandy Falcons කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරගය ආරම්භ වනවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ Colombo Stars කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් Galle Gladiators කණ්ඩායම අතර එම තරගය පැවැත්වෙනවා.

මෙම තරග නැරඹීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමේදී QR හරහා මුදල් ගෙවීමට පහසුකම් සලසා ඇති අතර, QR කර ටිකට්පත් මිලදී ගැනීමේදී 5% ක විශේෂ වට්ටමක් ලබා දීමටද සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.