ජොන්ස්ටන්ගේ නඩුවකට ඉදිරිපත් කළ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවත් ඒ අනුව නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම ගැන නීති උපදෙස් විමසනවා – කංචන විජේසේකර

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය නිලධාරීන් මේ වනවිටත් නීති උපදෙස් විමසා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මානව හිමිකම් කොමිසම සමග පැවැති සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් එහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමා ඊයේ ජනාධිපතිවරයාව දැනුවත් කළ බවත් ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා පැවති සාකච්ඡාවේදී ඉන්ධන ලබාදීමට අදාළව තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

f5a2ea6ae9a4f6977cda37ad69baa031

10653c0537f4fbccd40ecda18bd97110

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහි​ව ඛනිජ තෙල් වෘත්තිය සමිති විරෝධතාවක

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අද (27) පස් වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

අදත් විවිධ ප්‍රදේශවලදී වෘත්තියවේදීන් විරෝධතා ව්‍යාපාරවල නිරත වූ අතර පසුගිය 23 වැනි දා ආරම්භ කළ කළු විරෝධතා සතිය අද දිනයෙන් අවසන් වනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වූ අතර ‘එක්වෙමු – පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගෙන තිබුණා.

එහි දී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොර ව පිටත රැඳී සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කළ අතර සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පවසා සිටියා.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙහිදී සඳහන් කළා.

ඒ අනුව හිටපු ජනපතිවරයාට විත්ති කූඩුවට නැගීමට සිදුවූ අතර නඩුව යළිත් මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළා.

ලංකා විදුලිබල මණ්ඩලය මාස 3 ක් තුළ රුපියල් බිලියන 108 ක ආදායමක් ලබා තිබෙනවා – පාඨලී

ලංකා විදුලිබල මණ්ඩලය මාස තුනක් තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලය තුළ මෙම ආදායම උපයා ඇති බවයි සමුළුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පසුගිය කාලවකවානුව තුළ දිවයිනේ අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත් කමකින් යුත් විහාරස්ථානයන්ගේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව විශේෂ දායකත්වයක් ලබාදුන් බවත් එම සිද්ධස්ථානයන්ගෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතුවන බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර හා අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් එම සිද්ධස්ථාන ආශ්‍රිතව යෙදවීම සුදුසු බවත් උතුරු නැගෙනහිර පළාත්වල විහාස්ථානවල ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා එලෙසම පවත්වා ගැනීම සුදුසු බවයි මහනාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

af68f0e6d7b269d9b3b64deac88782bc

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස බල කරමින් සත්‍යග්‍රහයක්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වහා විවෘත කරන ලෙස බල කරමින් පවත්වන සත්‍යග්‍රහයක් අද (27) පැවැත්වෙනවා.

ඒ අනුව අත්තනෝමතිකව සිසුන් 39 දෙනෙකුට ලබා දී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා හකුලා ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.

අනුරාධපුරයේදී නිවසක් ගිනිගැනීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ෆේස්බුක් හරහා නිදහස් උත්සවය පිළිබඳව තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුව​ට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක්ව මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස්බුක් සමාජ ජාලයෙහි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පෝස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

40 හැවිරිදි සැකකරු අද (27) නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙහිදී පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.