ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – Adani Green Energy

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකර ඇති බවට පළවන වාර්තා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර තිබෙන්නේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට සමාගම සම්පූර්ණයෙන් කැපවී සිටින බවත්, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති බවත්, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත් ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බවයි අදානි සමූහය පවසා තිබෙන්නේ.

දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්

තාවකාලික වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව අද (20) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වරෙන්තු නිකුත් වී සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර අධිකරණයට පැමිණ භාරවීමෙන් අනතුරුව, අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබෙනවා.

අපේ ජනගහනයෙන් දවසට දෙවරක් දත් මදින්නේ 50%යි – විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක

ජනතාව තුළ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින්නේ අඩු උනන්දුවක් බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසනවා.

ඒ අනුව මෙරට ජනගහනයෙන් දිනකට දෙවරක් දත් මැදීම සිදු කරන්නේ 50% ක ප්‍රතිශතයක් පමණක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක්ම මුඛ රෝගවලින් පීඩා විඳින බවත්, මුඛ රෝගවලින් පීඩා විඳින සෑම 04 දෙනෙක්ගෙන්ම තිදෙනෙක් අඩු ආදායම්ලාභී රටවලින් වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් – අතිරේක සොලිසිටර් ජනරාල්

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවාදායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනුකරමින් සහනයක් අපේක්ෂා කළ බවත් එය ප්‍රතික්ෂේප වූ වහාම අද පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ බවයි සඳහන් කළේ.

සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළ බවත් එහිදී අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙන අතර සැකකරු බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිට තිබෙනවා.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ඉල්ලීමට දැඩි ව විරෝධය පළ කර තිබෙනවා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ “”ස්වාමීනී… අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැලවීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම්දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා ඉදිරිපෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ. මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා.” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා” ස්වාමීනි..මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු, දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයොත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මෙම සැකකරු අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු බවත් සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මොහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවට නියෝග කර තිබෙනවා.

ආයේ නම් පක්ෂ වෙනුවෙන් පාරට බහින්නේ නෑ, මම ඉගෙන ගත්ත පාඩම හොඳටම ඇති – දමිතා

තමා අවුරුදු 43ක් පුරා කලාවෙන් දිනාගත් දේ දේශපාලනය නිසා අවුරුදු දෙකහමාරක් තුළ නැතිව ගිය බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා.

ඒ අනුව, තමා මේ විට දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවත්, මිනිසුන්ට සේවය කිරීමට දේශපාලනය කිරීමටම අවශ්‍යතාවක් නොමැති බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

තමා මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පාරට බැසීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත්, පක්ෂ වෙනුවෙන් යළිත් ඉදිරිපත් නොවන බවත්, ඉගෙනගත් පාඩම හොඳටම ප්‍රමාණවත් බවයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා – අගමැතිනිය

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද ආර්ථික ක්ෂේත්‍රය සඳහා කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ආර්ථිකයට දායක වන පුරුෂ පාර්ශ්වයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක් බවත්, දේශීය වශයෙන් එය 71% ක් බවත්, ඊට සාපේක්ෂව කාන්තා සහභාගිත්ව ප්‍රතිශතය ගෝලීය වශයෙන් 47% ක් සහ දේශීය වශයෙන් 32% ක් පමණ වන බවයි අගමැතිවරිය සඳහන් කළේ.

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ආසියානු සංවර්ධන බැංකුව ඒකාබද්ධව සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය (WE Finance Code) එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

කාන්තාවන්ට ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටීමට බාධාවක් වන මූල්‍ය ප්‍රවේශය, වෙළඳපල, ශ්‍රම පුහුණු සහ තාක්ෂණික වශයෙන් පවතින ව්‍යුහාත්මක අවහිරතා ඉවත් කිරීම වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

රුපියල් මිලියන 3.8 කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් නියම කිරීමටත්, රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත එම කීරි සම්බා සහල් තොගය රාජසන්තක කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ 12 ප්‍රදේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නඩුවේදී එම පුද්ගලයින් විසින් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එසේම එම වෙළෙඳසැලේ සඟවා තබා තිබිය දී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 05 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය ද ඊයේ (18) අධිකරණය විසින් රාජසන්තක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බියර් කන්ටේනර් රථයක් පෙරළී අනතුරක්

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයේදී බියර් කන්ටේනර් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

දේශබන්දු රිමාන්ඩ් කිරීමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද උදෑසන අධිකරණයට භාරවීමෙන් පසු පස්වරුවේ දී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබෙනවා.