බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා.

මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (21) උදෑසන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක දක්වා තිබුණේ, බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් නැතහොත් අවුරුදු 2 ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවයි.

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණු අතර, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වී තිබෙන බවයි සඳහන් වන්නේ.ඒ අනුව, එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වසරේදී ඔවුන්ට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර, පසුගිය 19 වැනි දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ වීසා බලපත් කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ, මෙම වසරේ ජූනි 12 වැනිදාට පසුව අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක්, 2025 නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සති දෙකක කාලයක් තුළ තම ඉඩම් වගා නොකිරීමට හේතු දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ පවසා සිටියේ.

මෛත්‍රී ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් අවභාවිත‍ා කිරීමේ සිදුවීමක් ගැන එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මෙම ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් අනුව, මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත් පැමිණිලිකරු පෙන්වා දෙනවා.

ඒ අනුව, ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත්, එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, ෂීට් ඇතුළු භාණ්ඩ අස්ථානගත වී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා.

ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත්, යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත්, පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවද, නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ රැගෙන ගියේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද, මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන අදාළ පැමිණිල්ල මගින් දක්වා තිබෙනවා.

සබරගමු සමන් දේවාලයේ නිලවරණයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණයෙන් අද (20) ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින්, මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබාදී තිබෙනවා.

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90%ක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වුණා.

එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලියන 176කින් ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇයව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා ඊයේ (19) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණා.

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන්ද පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණය වෙයි

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය පවසනවා.

ඒ අනුව සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලදී මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී ඇති අතර, ජනපති අනුමැතියෙන් තොරව රැඳවියන් 247 දෙනෙකු නත්තල් දිනය, නිදහස් දිනය හා වෙසක් සැමරුමට සමගාමීව අවස්ථා තුනකදී නිදහස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.