රාජ්‍ය බැංකු අද විවෘත වෙයි

අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තැබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 394ක් සමඟ පුද්ගලයෙකු උයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ආසියානු කුසලාන තරගාවලිය අද ආරම්භ වෙයි

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගාවලිය අද සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබෙනවා.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කෙරෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද නිකිණි පුර පසළොස්වක පොහොය වැදගත් වනවා.

අස්වැසුම ප්‍රතිලාභ සඳහා ඉතිරි පුද්ගලයින් තෝරා ගැනීම කඩිනම් කිරීමට පියවර

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාදීම සඳහා ලක්ෂ 5 ක් වූ ඉතිරි පුද්ගලයින් තෝරාගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ සඳහා ඉදිරිපත් වූ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නන්ගෙන් එම මුදල අය කර ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

කටුනායක බස් වර්ජනය අවසන් වෙයි

කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළැඹි එකඟතාවයට අනුව බස් රථ ධාවනය කිරීම අද (29) සිට යළි ආරම්භ කරන බවයි ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර සඳහන් කළේ.
බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 ආරම්භ වෙයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 වන වරටත් ලබන සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තොම්බර් පළමුවනදා දක්වා දින 10 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර වැඩිදුරටත් සඳහන් කළේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලි පෙරහැර

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලි පෙරහැර අද (28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තුන්වෙනි රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6.48ට දළදා වීථිය, ඊ.එල් සේනානායක වීථිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීථිය, කුමාර වීථිය, ඊ.එල් සේනානායක වීථියෙන් හරස් වීථියට පැමිණ ඩී.එස්. සේනානායක වීථිය, රජ වීථිය ඔස්සේ ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු තහනම ඉවත් කිරීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ඊයේ (27) මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් 2023 වසරේ ජනවාරි 21 වනදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළා.

64ec8a0516992

64ec8a0529009