ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා – ෂෙහාන් සේමසිංහ

 

රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර ඉදිරිපත් කළ අයවැය හරහා ආර්ථිකයේ බොහෝ අංශවල වර්ධනයක් ලබා ගත හැකි බවයි 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයක් සිදුකරමින් සිටින අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සුළු මොහොතකට කල් තබා තිබෙනවා.

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 45 ක් හඳුනාගෙන ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර සඳහන් කළේ.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඊයේ (20) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවත්, නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ භාරගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශගුණයට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසාර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

655aeda0394a7pdf_page_0

කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කර ගන්නවා නම්, ලිඛිතව අවසර ගත යුතුයි – කතානායක

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින්ට සහභාගී වීමට හැකියාවක් නොමැති බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන්, අදාළ කාරක සභා සඳහා කැඳවන පුද්ගලයින්, කාර්ය මණ්ඩලය සහ කාරක සභාවේ සභාපතිවරයාගේ විධිමත් අවසරය ලබාගත් සාමාජිකයින් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් එම කාරක සභා රැස්වීම් සඳහා සහභාගී විය හැකි බවයි කතානායකවරයා දැනුම් දුන්නේ.

කාරක සභාවේ කටයුතු සම්බන්ධීකරණය හා උපදේශනය සඳහා බාහිර පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් කතානායකවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ගිරිඋල්ල නගරය අවට මාර්ග ජලයෙන් යටවෙයි

මහ ඔය පිටාර ගැලීම නිසා ගිරිඋල්ල නගරය අවට මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් එම නගරය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් ගැන නඩුව යළි සලකා බැලීම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා පියවර ගෙන තිබුණා.

ඒ අනුව නව විනිසුරු මඬුල්ල ඉදිරියේ පසුගිය 16 වනදා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එය අද දින දක්වා කල්තබා තිබුණා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුව එහි කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.

මහ ඔය ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇඟවීමක්

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

එසේම දැඳුරු ඔය, තබ්බෝව, වෙහෙරගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු  තවදුරටත් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.