ගාලු මුවදොර ආශ්‍රි​ත ප්‍රදේශයේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (12) සහ හෙට (13) දිනවල රාත්‍රී 7.00 සිට කොළඹ කොටුව, ගාලුමුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රථවාහන ගමනාගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

<span style=’color:#000000′><span>ඔබත් වෙසක් කලාප නරඹා ගාලු මුවදොර අවට ප්‍රදේශයන්ට පැමිණෙන්නේ නම් පහත රථ වාහන සැලැස්ම පිළිබඳව අවධානය යොමුකර රථ වාහන තදබදය අවම කිරීමට සහයෝගය ලබාදෙන්න.</span></span>

news images

ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුලත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

‍මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන ඇති අතර පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන තිබෙනවා.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙනගොස් තිබෙනවා.

news images

news images

news images

අදාල සිතාසි ම​ට ලැබුණේ නැහැ – සේමිණි ඉද්දමල්ගොඩ

තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා ලබාදී තිබුණේ එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට වන බවත් ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සියළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කර තිබෙනවා.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය  මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙනවා.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක්  ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

ගැරඬිඇල්ලේ අනතුර පිළිබඳව ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී  සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් තමන් මහත් කම්පනයට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළයාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් ක‍ර තිබෙන්නේ.

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් සංවේගය පළ කරන බවත් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා ඔහු එම ධූරයේ වැඩ භාරගෙන තිබුණා.

රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සතුව තිබූ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති බවයි ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේ.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 600 ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රජයේ සේවකයන්ට ලබා දෙන ආපදා ණය ප්‍රමාණය ලක්ෂ හතර දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව, එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප් වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තමාගේ නමට අපහාස කරමින්, පිරිසක් විසින් හිතාමතා සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන්, තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුව වූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බවයි එම පුද්ගලයා සඳහන් කළේ.

තමාගේ පින්තූර යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත්, එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බවයි ඔහු වැඩිදූරටත් ප්‍රකාශ කර සිටියේ.

පාකිස්ථාන ගුවන් හමුදා කඳවුරු තුනකට ඉන්දීය මිසයිල ප්‍රහාර

ඉන්දියාව තම හමුදා ගුවන් කඳවුරු තුනක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පාකිස්තානය චෝදනා කර සිටින අතර, ඉන්දියාවට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත්, ඉන්දීය ගුවන් කඳවුරු ඉලක්ක කර ගැනීම සඳහා පාකිස්තානය ද අධිවේගී මිසයිල භාවිතා කළ බවයි ඉන්දීය හමුදා චෝදනා කර සිටින්නේ.

අද (10) අලුයම සිට කාශ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා රේඛාව දිගේ ස්ථාන කිහිපයකින් පිපිරීම් පිළිබඳ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් සහ ජම්මු යන නගරවල පිපිරීම් ශබ්ද ඇසුණු බවත්, කාශ්මීරයේ උදම්පූර් සහ පන්ජාබයේ පතන්කොට් යන ප්‍රදේශවලින් ද පිපිරීම් හඬ ඇසුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.එසේම, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ රාජෝරි නගරයේ අතිරේක නියෝජ්‍ය කොමසාරිස් රාජ් කුමාර් තාපා පාකිස්තානයේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය බව එහි මහ ඇමති ඕමාර් අබ්දුල්ලා පවසා සිටියා.

අද රාජෝරි නගරය ඉලක්ක කර ගනිමින් පකිස්ථානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු නගරයේ අවම වශයෙන් තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර, ඇඩම්පූර් හි ඉන්දියානු S-400 පද්ධතිය විනාශ කිරීම, සූරත් සහ සිර්සා හි ගුවන් තොටුපළ විනාශ කිරීම, නාග්‍රෝටා හි බ්‍රහ්මෝස් අවකාශය, ඩෙරන්ගාරි හි කාලතුවක්කු තුවක්කු ස්ථාන සහ චන්දිගාර් පතොරම් ගබඩාව සහ අනෙකුත් ඉන්දීය හමුදා මර්මස්ථානවලට දැඩි හානියක් සිදු කළේ යැයි සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන කාරණා අසත්‍ය බව ඉන්දියාව පවසා තිබුණා.

පාකිස්තානය විසින් පතුරුවන මෙම අසත්‍ය ප්‍රකාශ ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.