IPL තරගාවලිය මැයි 17 වනදා සිට යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි මැයි 17 වනදා සිට ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

පසුගියදා ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගත් යුදමය තත්ත්වය හේතුවෙන් ආරක්ෂක හේතූන් මත තරගාවලිය තාවකාලිකව අත්හිටවූවා.

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යතුරුපැදි පැදවූ 36 ක් අත්අඩංගුවට

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36 ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18 -20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කුෂ් කිලෝ 46 ක් සමග බ්‍රිතාන්‍ය තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460 කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමක් අතරතුර ඇයව නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව තිබෙනවා.

ලුණු හිඟයක් තිබෙනවා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණද එය ප්‍රමාදවී ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවයි

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවයි එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742 කට අධික සංඛ්‍යාවක් මෙවර ලියාපදිංචි වී තිබුණා.

ගැරඬිඇල්ලේ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වෙයි

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළකෙරෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදුකෙරෙන බවත් ඉන් අනතුරුව අනතුරට හේතුවූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අලදෙණියේදී වන්දනා බස් රථයක් අනතුරට පත්වී 20 ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි කාලයේදී අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

විදුලිසැර වැදී දැරියක් මරුට

මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.

වෙසක් පොහොය වෙනුවෙන් විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දැරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිවයින පුරා වෙසක් තොරන් රැසක්

වෙසක් පොහොය දිනයට සමගාමීව තොරන් රැසක් අද (12) සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙවරද වැඩිම තොරන් ප්‍රමාණයක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු වෙසක් කලාප කිහිපයක්ද කොළඹ ආශ්‍රිතව අද සිට ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙනවා.

මීට අමතරව තවත් ප්‍රදේශ රැසක තොරන් සහ පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඡායාරූප – සමාජ මාධ්‍ය

news images

news images

news images

news images

දින 90 ක් සඳහා තීරුබදු අඩු කිරීමට අමෙරිකාව හා චීනය එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කරන්නේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ අන්‍යෝන්‍ය තීරුබදු 115% කින් අඩු කරන බවයි.

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙකම සති අන්තයේ ස්විට්සර්ලන්තයේ වෙළඳ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මේ බව නිවේදනය කර තිබෙනවා.