චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍යාංශය

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

එවැනි තත්ත්වයක් තිබියදී, පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදී ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බවත්, එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

උසස් පෙළ සමත් සිසුන් 90,000ක් මෙවර විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වෙයි

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත, මෙවර විශ්ව විද්‍යාල සඳහා සිසුන් 90,000 කට අධික පිරිසක් Online ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එම ලියාපදිංචිය සඳහා ලබාදුන් කාලය පසුගිය 30 වැනිදා අවසන් වුණා.

ලියාපදිංචි වූ සිසුන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා ලබන 13 වැනිදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩිවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බවද කොමිසම සඳහන් කළා.

එසේ අනුපිළිවෙළ වෙනස් කළ අයැදුම්පත්වල පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතු බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

නාමල්ගේ නඩුව මහාධිකරණයට යොමුකළ නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවරා ඇති නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (04) නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දිමේදී සිදුවී ඇති බව කියන රුපියල් මිලියන 70ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවත්, අදාළ නඩු ගොනුව මහාධිකරණය වෙත යොමුකර ඇති බවයි මහේස්ත්‍රාත්වරිය දන්වා තිබෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර, නමුත් එවැනි කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කුච්චවේලි මුහුදේ දී නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) දිනයේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ නාවික හමුදා යාත්‍රාවක් වට කරමින් අදාළ යාත්‍රාව පැහැරගෙන යෑමට තැත් කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙහිදී එම සංවිධානාත්මක කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොර බැදීමක් සිදුවී ඇති බවත්, එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා ඇති බවත්, පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙන බවද සඳහන්.

අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවද, ඒ සමග එක් නාවික හමුදා සෙබලෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවද, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, එම සිද්ධිය මුල් කර ගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් විසින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැයි මාසයේදී සංචාරකයින් 132, 919ක් මෙරටට පැමිණෙයි

ගතවූ මැයි මාසයේදී සංචාරකයන් 132,919 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, 2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,029,803ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images

“මේ තරම් ආදරයක් ගෞරවයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ” අනුදි ගුණසේකර මාධ්‍ය වලට කියු දේ.

https://youtube.com/watch?v=j2r-nui5FxA%3Fsi%3DjTLTTxU7-lRn4MC_

බදු සතියේ ජනපතිට ගන්න පුළුවන් හොදම ආරම්භය ගැන කියන දිලිත් ජයවීර…

https://youtube.com/watch?v=5w9iaHhDlkQ%3Fsi%3DFJkTGfZL6V0FgWTE

ත්‍රිපෝෂ සඳහා බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන, වසරකට අවශ්‍ය ලෙස නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට මෙසේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්, අධ්‍යාපන, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විතව මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව විවිධ ඩිජිටල් අධ්‍යාපන මුල පිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවී ඇති බවත්, මේ හේතුවෙන් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ඒකාබද්ධ ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය පහතින්.

news images