පොදු සමාව යටතේ අනීතිකව සිරකරුවන් නිදහස් කිරීම ගැන තොරතුරු හෙළිවෙමින් තිබෙනවා – පොලීසිය

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

පසුගිය වෙසක් පොහොය දිනයේ පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව තවත් සිරකරුවන් කිහිපදෙනෙකු හට බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදී නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බවයි එහි සඳහන් වෙන්නේ.

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එසේම මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බවත් එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවයි ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා CID යට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (08) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

නිදහස් කළ බහාලුම් 323 තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ – රේගුව

බහාලුම් 323 ක්  නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ  මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණයක් සිදු කළා.

ඒ අනුව අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

ආනයනය කරපු මේ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව එහි අඩංගුව තිබූ බවත් ඒවා ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආනයනය කර තිබූ බවයි ඔහු සඳහන් කළේ.

බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හේතුවෙන් මෙම බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් බවට විශ්වාස කරන බවත් ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර අදාළ බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන් කෙරේ

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8.00 ට අවසන් කර තිබෙනවා.

උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් පසුගිය 5 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.

ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් කළ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයද සිය වර්ජනය අද උදෑසන අවසන් කර තිබෙනවා.

පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් වසා තැබෙයි

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොසොන් සතිය ඊයේ (07) සිට ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව ජනපති මූලිකත්වයෙන් සාකච්ඡා

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම යන කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි සඳහන් වන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් ඒකකයක් පිහිටුවීමටද අපේක්ෂා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කර සිටියේ.

වසරේ මුල් මාස පහේ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 03 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා.

ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 3.1ක් බවයි එහි දැක්වෙන්නේ.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වූ ප්‍රේෂණ වටිනාකම වන ඩොලර් බිලියන 2.624 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.

පොසොන් පොහොය වෙනුවෙන් ලියාපදිංචි දන්සැල් 4,125ක්

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසා සිටියේ.

මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

පසුගිය 05 වැනිදා මොරටුව මෝදර ප්‍රදේශයේදී දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් ‘සාගරිකා’ දුම්රිය එම ස්ථානයේ නතර කළ අතර, දුම්රිය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.

ඒ සමග මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳව ගැටලුවක් මතු වූයේ, එසේ තිබියදීත් බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අඟවන කොළ පැහැති ආලෝකය සංඥා දිස්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණු බැවිනි.

කෙසේ වෙතත්, දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය  අනතුරක් වලක්වා ගැනීමට හැකිවුණා.

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබුණු වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.

එම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි එහි ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේ.

වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළද, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පවසා සිටියේ.