ඉන්දීය ගුවන් අනතුර : එක් ගුවන් මගියෙක් දිවි ගලවා ගනියි

අනතුරට පත්වු එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි එක් මගියෙකු දිවි බේරා ගැනීමට සමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රමේෂ් විශ්වස්කුමාර් බුචර්වාද නම් පුද්ගලයා මෙලෙස මාරාන්තික අනතුරෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුවන් යානයේ අසුන්ගෙන සිටි 38 හැවිරිදි රමේෂ් සිද්ධිය අතරතුර ගුවන් යානයෙන් පැන අතර පසුව ඔහු මුද‍ාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම අනතුරෙන් ගුවන් යානයේ ගමන් ගත් අනෙකුත් මගීන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දීය ගුවන් අනතුර : ගුවන් යානය ගැටී ඇත්තේ වෛද්‍ය නේවාසිකාගාරයක

මගීන් 232 ක් හා කාර්ය මණ්ඩලයේ 12 ක් සමඟ සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ගුවන් යානයක් අද පස්වරුවේ අනතුරට ලක්වී තිබුණා.

නවතම තත්ත්වය පහතින් :

* ගුවන් යානය වෛද්‍ය නේවාසිකාගාරයක ගැටී ඒ මතට කඩා වැටී තිබෙනවා.

* වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ මහල් නිවාසවලට හානි සිදුවී ඇති අතර, බොහෝ පිරිසක් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

* ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි අහමදාබාද්හි පොලිස් ප්‍රධානියා සඳහන් කරන්නේ.

* එසේම ගුවන් යානාව කඩා වැටුණු ප්‍රදේශයේද ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බවද ඔහු පවසනවා.

* ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කරන්නේ මෙම අනතුරෙන් බොහෝ පිරිසක් අහිමි වූ බවත්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

* ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක් ගමන් කර ඇති අතර ඉන්දීය ජාතිකයින් 169 ක් ගමන් කර තිබෙනවා.

* අනතුර සිදුවු අහමදාබාද් හි ‘සර්දාර් වල්ලභභායි පටෙල්’ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.

* අනතුර සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් පවසන්නේ මෙම ඛේදනීය අනතුරට මුහුණදුන් පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවත්, මේ මොහොතේ මූලික අරමුණ වන්නේ බලපෑමට ලක් වූ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම බවයි.

news images

news images

news images

බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස්, 17 ක් තුවාල ලබයි

බලංගොඩ රජවක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී එක් සිසුවෙක් මියගොස් තවත් සිසුන් 17 ක් තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව අද දහවල් පැවති සුළං තත්ත්වයත් සමඟ ගසක් කඩා වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ සිසුන් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Photo Story : ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

Bellevue Palace වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහාද එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

news images

news images

news images

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම ගැන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් මේ වන විට කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Correction : අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි විරෝධතා උත්සන්න වීමත් සමඟ එහි කොටසකට ඇඳිරිනීතිය පැනවීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍එරට පොලීසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් ඇති අතර පසුගිය දින හතර තුළ අවම වශයෙන් පුද්ගලයින් 378 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාතික අපරාධ සහ නීති විරෝධී සංක්‍රමණවලින් එක්සත් ජනපදය ආරක්ෂා කිරී‍මේ ආයතනය වන ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වන විට නිව්යෝර්ක්, චිකාගෝ, සියැටල්, ඩෙන්වර්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඇට්ලන්ටා සහ තවත් බොහෝ ප්‍රධාන නගරවලට ව්‍යාප්ත වී ඇති ඇති බවද සඳහන්.

ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය මඟින් සිදුකරන වැටලීම්වලදී එරට පොලීසිය ඔවුන්ගේ සේවා ස්ථානවලට ඇතුළුවී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ පසුගිය සිකුරාදා මෙම විරෝධතා ආරම්භවී තිබුණා.

\මෙම විරෝධතාවයට හේතුව ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුද්ගලයින්ට එරටට ඇතුලුවීම තහනම් කරමින් පැනවූ නියෝගයට එරෙහිව බවට අප මීට පෙර වාර්තා කරන ලද පුවතේ සඳහන් කර තිබූ අතර නව පුවත මඟින් එය නිවැරදි කර තිබෙනවා.

ගැරඬිඇල්ල අනතුරට එරෙහිව ගමනාගමන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කෙරේ

ගැරඬිඇල්ල අනතුරට හේතු වී ඇත්තේ අධික තෙහෙට්ටුව මත රියදුරුට ඇතිවූ නිදිමත ස්වභාවය බව අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කෙසේ නමුත් මෙහිදී අනතුර සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් එම රියදුරුට පැවරීමක් සිදු නොකරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

‍අනතුරට හේතුව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදුකළ පරික්ෂාවේදී අදාළ බස් රථයේ කිසිඳු දෝෂයක් නොතිබූ බවට සඳහන් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු විසින් කිසිඳු මත්ද්‍රව්‍යයක් භාවිතා කර නොතිබුණු බවටත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී නොතිබූ බවටත් රියදුරුගේ මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළා.

රාත්‍රී 10.00 ට කතරගම ඩිපෝවෙන් පිටත්වන බස් රථයේ දිනක සම්පූර්ණ ගමන් කාලය පැය නවය හමාරක් පමණ වන අතර, බස් රථයේ කොන්දොස්තරගේ සහ රියදුරුගේ දිනක සේවා කාලය පැය දහතුන හමාරක් පමණ වන බවට නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව අනතුරට හේතුව ලෙස නිරීක්ෂණය වන්නේ රියදුරාට ඇතිවූ තෙහෙට්ටුව හේතුවෙන් නින්ද යාම නිසා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මාර්ගයේ ගමන් කිරීම සඳහා නීතියේ ආකාරයට ගමනාගමන කොමිෂන් සභාවෙන් නිසි අවසරයක් ලබ‍ා නොගැනීම නිසා මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකාරීත්වය දරන ජාතික ගමනාගමන මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට සිය වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා.

එසේම, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ යකඩ වැට, කොන්ක්‍රීට් කණු න‍ොමැතිවීම හා මාර්ග ආලෝකකරණය නොමැති වීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට ද නඩු පැවරීමට නිර්දේශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ප්‍රකාශයක් ලබාදී රනිල් CIDයෙන් පිටව යයි

අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (11/06)නිකුත් කරන කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සටහන –
කොලින් හරිශ්චන්ද්‍ර

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (11/06)නිකුත් කරන කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදුබඩ ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය මෙසේය.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
සුළඟ:

සුළං නිරිත දිශාවෙන් හමා එයි.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි

2019 වසරේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.8ක් ප්‍රවාහනය කරමින් සිටියදී උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි ධීවරයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුවක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව යළි විභාග කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණයට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමට අවසර ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.