නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් – අනුර

anura-kumara-32

රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා අසීරු වී ඇති බවද, එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී, බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගෙන දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇති බවද, අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණක් බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ, එම සුභ නැකත එළඹෙන තුරු බවයි අලුත් අවුරුද්දට සුභාශිංසන එක් කරමින් ඔහු අවධාරණය කරන්නේ.