ඖෂධ තොග නොමැති වීමට ප්‍රධානතම හේතුව අකාර්යක්ෂමතාව බවට විගණන වාර්තාවකින් අනාවරණය වේ

medical-supply-division

රට තුළ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති වීමට ප්‍රධානතම හේතුව වෛද්‍ය සැපයුම් අංශයේ අකාර්යක්ෂමතාවය බව නවතම විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඖෂධ මිලදී ගැනීමේදී තොග පාලනය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය සලකා බලා නොතිබූ බවයි මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණන වාර්තාවේ දැක්වෙන්නේ.

1980 වර්ෂයේ ස්ථාපිත කරන ලද ජාතික සෞඛ්‍ය සභාව සෞඛ්‍ය ගැටලු ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වැදගත් වේදිකාවක් වුව ද එය 2004 වර්ෂයේ සිට රැස්වී නොමැති බවත් එවැනි ඉහළ මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ආයතනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ජාතික මෙහෙයුම් කමිටු සහ ජාතික කාර්ය සාධක බලකා කලින් කලට පිහිටුවීමට සිදුව ඇති බවද එම වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

2021 වර්ෂය අවසන් වන විට වර්තමාන ආපදා සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම යාවත්කාලීන කිරීමට වෛද්‍ය සැපයුම් අංශය මඟින් සැලසුම් කර තිබූ අතර නියමිත කාලයට එම කාර්යය සම්පූර්ණ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින වන විට රෝහල් 14ක ඖෂධ තොග පිළිබඳ විගණනයට අනුව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ 15ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ 1205ක තොග නොතිබූ බවද අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 49ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 943ක තොග පැවතියේ දින 30 කට අඩු කාලයකට බවත් වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ තොගවල අවම මට්ටම, අවදානම් මට්ටම, නැවත ඇණවුම් මට්ටම, උපරිම මට්ටම සහ සාමාන්‍ය මට්ටම පවත්වාගෙන නොයෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි අදාළ විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ විගණන වාර්තාව පහතින්.https://bit.ly/458BXV0