මැයි 09 දේශපාලනඥයින්ගේ නිවාසවලට හානි කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

court-2

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.