alco

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කිරීම 21වන දින පෙරවරුවේ මුලතිව්හි විදනන්ද විද්‍යාලයේදී  සිදු කරන ලදී. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලබන 28වැනිදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප‍්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කරනු ලබයි. මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගේ ඉගෙන ගනිමු යන තේමාව යටත් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල රටේ සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත. මේ හරහා පන්ති කාමරය තුළ දරුවන් හා දෙමාපියන් දැනුවත්  කිරීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති රීති හා මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කරනු ලබයි. උත්සවය අමතමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවයි.

 පාසැල් දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනීම සදහා මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයි. මේ හරහා දුම්වැටි මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය සදහා පාසල් ළමුන් පෙළබවිම අවම කරගත හැකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිවු වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ අගය කළ යුතුය. පසුගිය දා ජනාධිපතිවරයා පිලිපීන සංචාරයක නිරත වූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පිලිපීන රජය සිය  සහය ලබා දීමට  කැමැත්ත පල කරමින් ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි.මත් උවදුර තුරන් කිරීම ලෙහෙසි නැත. මත්ද්‍රව්‍ය ව්‍යාපාර සම්බන්ධ චෝදනා ලබන්නන්ට මෛත්‍රි පාලනය යටතේ ද ඇමති පදවි ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ අභිමත අන්දමට ආණ්ඩු හසුරුවන බව නොරහසකි. මත් උවදුර මැඩලීම අවශ්‍ය නම් එය ද කළ හැකිය. ඊට අවශ්‍ය වන්නේ නිතීය ක්‍රියාත්මක කිරීමට අදාළ දේශපාලන අතපෙවීම් නැවත්වීම පමණි.

සටහන- පබසරා රාජකරුණා