පර්පෙචුඅල් ට්‍රෙෂරීස් CEOගේ දුරකථනය දෙයි – ඇලෝසියස් තාමත් රහස් අංකය සගවයි

Arjun Alosiyas
පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේන මහතාට ලබන අඟහරුවාදා බැඳුම්කර කොමිසම  හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම අද දැනුම් දී තිබේ.

එසේම කසුන් පළිසේන විසින් ඔහුගේ ජංගම දුරකථනය අද (04) බැඳුම්කර කොමිසමේ විමර්ශන  නිළධාරීන්ට භාර දී තිබේ.

අද කොමිසමේ කටයුතු ආරම්භ කළ මොහොතේ කොමිසමේ පෙනී සිටි පර්පෙචුඅල් කැපිටල් ලිමිටඩ් නියෝජනය කරන ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කියා සිටියේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත පුද්ගලයින්ගේ පෞද්ගලික සන්නිවේදන උපකරණ සිය භාරයට ගැනීමට කොමිසමට නීතීමය බලතල නොමැති බවයි.

පරීක්ෂණ කොමිසම් පනතෙන් සපයා දී ඇති ප්‍රතිපාදන අනුව කොමිසමට පෞද්ගලික සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් පරීක්ෂණය කළ හැක්කේ එහි හිමිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින මොහොතේ පමණක් බව ඉන්දතිස්ස මහතා කොමිසමට කියා සිටියේය.

එමෙන්ම පනතට අනුව නීතීපති දෙපාර්තමෙන්තුවේ කාර්යභාරය වන්නේ කොමිසම විසින් කැඳවන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න විමසීම වන අතර නීතීපති දෙපාර්තමෙන්තුවට සාක්ෂිකරුවන් කැඳවීමට  නෛතික හැකියාවක් නොමැති බවද ඔහු කොමිසමට පැවසුවේය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා  කියා සිටියේ  නීතීපති දෙපාර්තමේන්තුව කොමිසමට සහය දක්වන්නේ පරීක්ෂණ කොමිසම් පනතේ 23 වන වගන්තියට අනුව වන බවයි.

එම වගන්තිය යටතේ ඕනෑම රාජ්‍ය සේවකයෙකු කොමිමේ සහයට කැඳවීමේ බලය කොමිසමට ඇති බැවින් නීතීපති දෙපාර්තමෙන්තුව විසින් සාක්ෂිකරුවන් කැඳවීම සම්බන්ධයෙන් ඉන්දතිස්ස මහතාගේ තර්කය නිවැරදි නොවන බව ඔහු කොමිසමට පෙන්වා දුන්නේය.

මේ අතර අර්ජුන් අලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාගේ දුරකථනය විමර්ශනය කර තාක්ෂණික විශේෂඥයෙකු විසින් කොමිසමට භාරදුන් පිටු 8600 ක වාර්තාව පරිශීලනය කිරීමට තමන්ටද අවස්ථාව ලබාදෙන ලෙසයි.

එහිදී  නීතීපති දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට විරෝධය පළකරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේය.

ඔහු  වැඩිදුරටත් පැවසුවේ අර්ජුන් ඇලෝෂියස් මහතා සිය අයිෆෝන් ගිණුමේ රහස් කේතය ලබාදීමට කටයුතු නොකිරීම නිසා තවමත් විමර්ශන අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේනට කොමිසම යළි රැස්වන එළඹෙන අඟහරුවාදා දිනයේදී  කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද ඔහුගේ නීතිඥයින්ට දැනුම්දෙන ලදී.