රට වටා ජල ගැලීම් හා විපත් – තොරතුරු යාවත්කාලීන වෙමින් පවතී

floods SL

අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.

ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙ.ව 06.47 – ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.  කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.

(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදව‍ා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින්  සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.

(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.