GMOA වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා වළක්වන්න- ජනපතිට ලිපියක්

GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික
ප්‍රමාණයක් හෙට දිනය පුරා දියත් කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු අංශ බිදවැටීමෙන් සිදුවන අපහසුතා වැළැක්වීමට කටයුතු කිරීම රජයේ වගකීම වන බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වර්ජනයට සහභාගී වන සංගම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

සයිටම් ආයතනය ජනසතු නොකිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව සහ එට්කා වැනි අන්තර්ජාතික ගිවිසුම් වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික ප්‍රමාණයක් හෙට දිනය පුරා  දීප ව්‍යාප්තව වැඩවර්ජනයක යෙදීමට නියමිතය.

මෙම වැඩ වර්ජනයෙන් සාධනීය විසදුම් නොලැබේ නම් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ
වර්ජනයක් දක්වා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග වලට යාමට වැඩ වර්ජනයට සහභාගී වන සියලු පාර්ෂවයන්ගේ එකගතාවය හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ සදහන් වේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පූර්ණ ලෙස ජන සතු කිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව හකුලාගැනීම සහ රාජ්‍ය සේවය දියාරු කිරීම සහ  රාජ්‍ය සේවය පෞද්ගලීකරණය අහෝසි කිරීම යන යෝජනා මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය දියත් කෙරේ. එසේම එට්කා වැනි ජාත්‍යන්තර වෙළද ගිවිසුම් හේතුවෙන් මෙරට රැකියා වෙළදපල අනතුරේ හෙලා ජාතික සම්පත් විකුණාදැමීම නැවැත්වීම යන යෝජනා මෙම සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වේ.

ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ පිටිපත් අග්‍රමාත්‍යවරයා, ජනාධිපති
ලේකම්, සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතද යොමු
කිරීමට පියවර ගෙන ඇත.