රණවිරු දිනයට හමුදා පෙළපාලි වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතුයි

rejinold-kure

එළඹෙන මැයි මස 8 වනදාට යෙදී තිබෙන රණවිරු දිනය නිමිත්තෙන් හමුදා  පෙළපාලි වෙඩිමුර  වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (18) ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව මෙවර රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාතේ අපිරිසිදු ස්ථාන
පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සැළසුම් කර ඇතැයිද අපිරිසිදු ජලය රැදෙන
ස්ථාන පිරිසිදු කිරීමට එහිදී මූලික අවධානයක් යොමු කරන බවද ඒ මහතා
වැඩිදුරටත් සදහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් මෙන්ම පාසල් බාලදක්ෂ කණ්ඩායම් වල
සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව කයිතඩි හී පිහිටි ළමා හා වැඩිහිටි නිවාස සදහා ආහාර වේලක් ලබාදීමට මෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සදහා සහභාගී වන සියලු දෙනාට නොමිලයේ ආහාර පාන ලබාදීමටත් පාසල් ළමුන් 1000ක් සදහා පාසල් උපකරණ බෙදාදීමට සැළසුම් කර ඇතැයි ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය සදහන් කරයි.

පැතිර යන ඩෙංගු උවදුරට පිළියමක් වශයෙන් සිදුකරන මෙම කාර්ය සදහා සහභාගී වන්නැයි ආණ්ඩුකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.