තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට

agri

වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට අප්‍රෙල් 01,02,03 සහ 04 යන දිනයන්හීදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරවරු 9 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය.

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර ඇත.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අභේගුණවර්ධන මහතා සදහන් කළේය. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බව ඒ මහතා සදහන් කළේය.

ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙවර ප්‍රදර්ශනය කුටි 500ක් සදහා පමණක් සැළසුම් කළත් කුටි 750කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම සදහා මේ වන විට ඉල්ලිම් ඉදිරිපත්ව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

නිර්මාණවලට නිසි ඇගයීමක් ලබා දීමත්, වස විස නැති භෝග වගාව මෙන්ම දේශිය ආහාර සංස්කෘතිය ජනතාවට සමීප කිරීම හා දැනුම අධ්‍යාපනය ලබාදීම මෙම වැඩසටහවන් අරමුණ යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම ජනාධිපති ලේකම් පී.බි අබේකෝන් මහතාද සහභාගී වූහ.