සයිටම් සටන අන්තර්ජාතික තලයට

Doctors-Protest

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන “අන්තර්ජාතික තලයට” ගෙනයාම සඳහා කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  මාධ්‍ය ෙවත අදහස් දක්වමින් කියා සිටිෙය් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ලෝක සම්මේලනයට (World Federation For Medical Education) සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව දැනුම්දීමට කරුණු සළකා බලමින් සිටින බවය.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිළිබඳව අන්තර්ජාතික නියාමන සකස් කරනු ලැබ ඇත්තේ එම සම්මේලනය විසින් බව ඔහු පවසයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය අධිකරණයේ පිළිගැනීමට ලක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ සියලු දෙනා “සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නන්” වීම හේතුවෙන් එහි ප්‍රමිතිය පිළිබඳව නිවැරදි කරුණු අධිකරණයට දැනුම්දී නොමැති බවය.

“මෙතන වගඋත්තරකරුවන් හයදෙනෙක් හිටියට ඇත්තටම සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, අනිත් වගඋත්තරකරුවා තමයි සයිටම් ආයතනය, ඊට පසු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා. මේ සියලුදෙනාම සයිටම් වෙනුවෙන් තමයි පෙනී හිටියේ.” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය.

තම සටන පිළිබඳව දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා ආරම්භකර ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් පැවසීය.