විමල්ගේ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත නිසා ටිල්වින්ට වන්දියක්…….

News Iamges.00_00_00_09.Still3082

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරමින්, ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේ ය.

එම කෘතියේ ඇතුළත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වු කරුණු තවදුරටත් මුද්‍රණය කිරිම, බෙදා හැරීම, අලෙවි කිරිම, හෝ බුද්ධිමය දේපළ පනත යටතේ ගැනෙන අයිතිවාසිකම් යටතට වැටෙන කිසිදු ක්‍රියාවක නිරත වීම ද වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් වාරණ නියෝගයක් ද නිකුත් කළේ ය.

ඒ අනුව, අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

තහනම් නියෝගය ග්‍රන්ථයේ අයිතිවාසිකමට හිමිකම් කියන ටිල්වින් සිල්වාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර යන විනිසුරු දෙපල එම තීන්දුවට එකඟත්වය පළ කළහ.

ටිල්වින් සිල්වා වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන් සඳහන් කර තිබුණේ, විමල් වීරවංශ තම ග්‍රන්ථයට ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ඇතුළත් කිරීම මගින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කර ඇති බව ය.

එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය, ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බව තීරණය කරමින්, ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශට නියෝග කර තිබිණි.

එම තීන්දුවට එරෙහිව ගොනු කළ විශේෂ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දිය ගෙවන ලෙස වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගයට මැදිහත් නොවන බව සඳහන් කළේ ය.

වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නීතිය හා කරුණු නිසි ලෙස සලකා බලා එම තීරණය ලබා දී ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, ග්‍රන්ථය මුළුමනින් ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලන තහනම් නියෝගය සංශෝධනය කරමින්, එය ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරට ත් නියෝග කළේය.