රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සඵලදායී කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් තොරතුරු පද්ධති භාවිතා කළද, මෙම නව පද්ධතිය හරහා ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු එකම ජාලයකට ගොනු කෙරේ.
එහි පළමු අදියර යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය හරහා සිදු කිරීමට නියමිත අතර, ඉදිරියේදී එය මුළු දිවයිනටම සහ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මේ හරහා ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු සහ උසස් වීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ රජයේ සේවාවන් වඩාත් විනිවිදභාවයකින් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වන බවය.
කෙසේ වෙතත්, ඩිජිටල්කරණය යනු ගුරුවරයා වෙනුවට කරන ආදේශකයක් නොවන බවත්, එය ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් ඉහළ නංවන මෙවලමක් පමණක් වන බවත් ඇය පැවසුවාය.
“ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හරහා සිසුන්ගේ ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මේ ඔස්සේ පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් අධ්‍යාපන බලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ සහයෝගයෙන් නිම කර ඇත.

