දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.
පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.
මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

