අද (04) උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඉතිහාසයේ මුල්වරට ඒකක 20,000 සීමාව අතික්රමණය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සමත් වුව ද දිනය අවසන් වූයේ එහි ඒකක 128.02ක පහළ යාමක් වාර්තා කරමිනි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,786.23ක් දක්වා පහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 37.14කින් පහළ ගොස් ඒකක 5,857.61ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වුණි.
අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, NDB,ඇක්සෙස් ඉජිනියරින්ග් සහ බුකිට් ඩාරා ඇතුළුව සමාගම් 165ක කොටස් මිල පහළ යාම් හේතු වී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.53ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.46ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.45 ක් ලෙසින් සටහන් වී තිබුණි.
විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 74ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 82ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

