දින 8කට පසු කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට අස්වැසිල්ලක්…….

News Iamges.00_00_00_09.Still3114
2026 ජූලි මාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් අද (10) දින වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් වාර්තා වූයේ අඛණ්ඩ දින 8ක පසුබෑමකින් පසුව වීම විශේෂත්වයකි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.84කින් ඉහළ ගොස් ඒකක 21,765.56ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 10.97කින් ඉහළ ගොස්, දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,077.46ක් ලෙසින් සටහන්ව තිබුණි.

අද දින රු. බිලියන 2.03ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ඊට කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා රු. මිලියන 523ක දයකත්වයක් ලැබී තිබුණි. එහිදී රු. මිලියන 477ක වටිනාකමකින් යුතු වූ කොටස් ප්‍රමාණයක් ගිවිසාගනු ලැබූ ගනුදෙනු ලෙසින් හුවමාරු වී තිබෙනු වාර්තා වී තිබේ.

මීට අමතරව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (රු. මිලියන 211), සම්පත් බැංකුව (රු. මිලියන 152), එයිට්කන් ස්පෙන්ස් (රු. මිලියන 146), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 121) හා හේකාබ් (රු. මිලියන 106) ලෙසින් දිනය තුළ රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා වූ සෙසු සමාගම් විය.

දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.91ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.124ක් ලෙසින් වාර්තා වී ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 116ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 789ක් ලෙසින් වේ. ඒ අනුව රු. මිලියන 673ක ශුද්ධ විදේශීය ගලා යාමක් දිනය තුළ වාර්තා වී ඇත.

අද දින සමාගම් 135කින් සියලු කොටස් මිල දර්ශකයට ධනාත්මක දායකත්වයක් ලැබී තිබෙන අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝස්, හේකාබ්, ඩයලොග් ආසායිටා, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා RIL ප්‍රොපටීස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි. සමාගම් 77ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් ඇති බව කොටස් වෙළෙඳපොළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.