එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික හවුල්කාරීත්වය ලබා දීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කර ඇත.
එමෙන්ම ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා නවීන තාක්ෂණික උපකරණ, ගුවන් අවකාශ කළමනාකරණය ආදී අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් විදේශ ආයෝජන සහ විශේෂඥ සහාය ලබා දීමටද හැකි බව ඔහු මෙහිදී පවසා තිබේ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ වරාය කටයුතු ගැන සැලකීමේදී දැනටමත් වරාය පර්යන්ත කිහිපයක් පෞද්ගලික හවුල්කාරිත්වය ඇතිව මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන බවය.
එමෙන්ම හම්බන්තොට වරාය ද වෙනස් ආකෘතියකින් පවත්වාගෙන යන බවත් ඉදිරි අලුත් පර්යන්ත මෙහෙයුම් සඳහා පෞද්ගලික හවුල්කාරීත්වය සොයමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ කොළඹ වරාය ලෝක මට්ටමේ සම්පත් තිබෙන ස්ථානයක් බවත්, දැනට තිබෙන වසර 15ක ඉදිරි සැලසුම් ඉතා ආකර්ෂණීය බවත්ය. එමෙන්ම ගුවන්තොටුපළ සඳහා ද ඇති සංවර්ධන ව්‍යාපෘති දිගුකාලීන සැලැස්මකට අනුව සිදුවන බැවින් ඊට සිය සතුට පළකරන බව ද ප්‍රකාශ කළේය.
තවද කොළඹ වරාය වාණිජ වරායක් වූවද සංචාරක කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට උදව් කළ හැකි බව ද මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සාකච්ඡාව අවසානයේ අමාත්‍යවරයා යුරෝපීය රටවල් ඇතුළු විදේශ ආයෝජකයින් සමඟ හවුල්කාරීත්වය වැඩි කර ගැනීමට සූදානම් බවත් එමඟින් ජාත්‍යන්තර සහයෝගීතාවයන් වැඩි දියුණුව ද වඩා හොඳ ආර්ථක ප්‍රතිලාභයන් ලබා ගැනීමට ද ඉලක්කය වන බවද සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ මහෝනි (Theresa O Mahany) මහත්මිය ද, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වූහ.

