මෙරටට සැබෑ නිදහස ලැබෙන්නේ මාර්තු 09 වනදා – සමන්ත විද්‍යාරත්න

එළඹෙන මාර්තු 09 වැනිදා මෙරටට පොදු ජන යුගයක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න පවසනවා.

අද දින නිදහස් උත්සවය චාම් ලෙස පවත්වා, ඉතිරි මුදල් බෙහෙත්, පොහොර මිලදී ගැනීමට යොදා නොගත්තේ, පිරිසකට තම ප්‍රතිරූපය නිර්මාණය කරගැනීමට සහ ඔවුන්ගේ අභිමානය ලෝකයට පෙන්වීමට අවශ්‍ය වුනු නිසා බව ඔහු පෙන්වා දෙනවා.

මාර්තු 09 වන දින මෙරටට ඇත්ත නිදහස ලබාගැනීමට හැකි වන දිනයක් වනු ඇති බවද එදින මේ රටේ පොදුජනයාගේ යුගයක් නිර්මාණය වෙන බවද ඔහු අවධාරණය කරනවා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කරු ජයසූරිය ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට එක්වරක් පමණක් පිරිනමන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් හිටපු කතානායක කරු ජයසූරිය පිදුම් ලබා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මන්දිරයේ දී අදාළ සම්මානය කරු ජයසූරිය වෙත පිදූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය කරු ජයසූරිය වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.

තැපැල් ඡන්දය පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුකර තිබෙනවා.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සහ සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල් දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.

වික්ටෝරියා නුලන්ඩ් හා ජනපති අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් වික්ටෝරියා නුලන්ඩ්ට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමටද වික්ටෝරියා නුලන්ඩ් සිය එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණෙයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඊළඟ ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – මෛත්‍රී

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට තමා විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැතිවරණ කොමිසම

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ස.ජ.බ. මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.