රනිල් දන්නේ බදු ගහන්න, ණය ගන්න, විකුණන්න විතරයි – මහින්ද ජයසිංහ

රනිල් දන්නේ බදු ගහන්න, ණය ගන්න, විකුණන්න විතරයි – මහින්ද ජයසිංහ

කතානායකගේ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – අනුර

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බවට කතානායකවරයා විසින් සිදුකළ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාළ නියෝගය ලබාදුන් පසුගිය 9 වනදා අධිකරණය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දේශීය ණය ප්‍රශස්තකරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් පමණක් බවත්, කතානායකවරයා විසින් ලබාදුන් නියෝගය සම්පූර්ණයෙන් වැරදි බවත්, එය අනාගතයේදී වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ලබාදුන් නියෝගය අධිකරණයේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති කරන බවත් එය ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවට අභියෝග කරන්න අධිකරණයට බැහැ – කතානායක

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

එලෙස නිකුත් කරන ඕනෑම නියෝගයක් හෝ අධිකරණ තීන්දුවක් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි කතානායකවරයා පෙන්වාදෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු බවත් දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවෙන් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි කතානායකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් ඕනෑම අධිකරණයක් හමුවේ ප්‍රශ්න කිරීමට, සමාලෝචනය කිරීමට හෝ අභියෝග කිරීමට නොහැකි බවද පාර්ලිමේන්තු කටයුතු ප්‍රශ්න කිරීමට හෝ මැදිහත්වීමට අධිකරණයට හැකියාව නොමැති බවට හිටපු කතානායක අනුර බණ්ඩාරණායක ප්‍රකාශ කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උතුරේ ඉඩම් වලින් 92% ක් පමණ මේ වන වි​ට ක්‍රම ක්‍රමයෙන් නිදහස් කර තිබෙනවා – ජනපති

ආරක්‍ෂක අංශ සහ පොලීසිය 2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් 90% ත් 92% ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ සඳහා අක්කර 22,919 ක් ඇතුළත් වන අතර රජය සතු අක්කර 817 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 22,101 සමත්විත වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ වන විට ආරක්ෂක හමුදා සහ පොලීසිය භාරයේ තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර අක්කර 862 ක් රජය සතු සහ අක්කර 2892 ක් පුද්ගලික සතු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ ස්වෛරීභාවයට සහ ඒකීයභාවයට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවල නිරත නොවන බවට සහතික වන බවත් ජාතික සංහිඳියාව හඹායෑමට සාධනීය ලෙස සහභාගී වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට සූදානම් – ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

ඒ අනුව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවයි අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බවත් තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බවත්, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවද ඔහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා.

පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට සූදානම් බවත් පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ණය සීමාව ඉහළ දැමීමට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය අද

පාර්ලිමේන්තුව අද (09) දෙවන දිනටත් රැස්වීමට නියමිතව තිබෙනවා.

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

එසේම පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය ද අද පැවැත්වීමට නියමිතයි.

ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බ්‍රේල් ක්‍රමයට එළිදැක්වේ

එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත බ්‍රේල් ක්‍රමය ඔස්සේ පිළිගන්වා තිබෙනවා.
එම පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙලෙස බ්‍රේල් ක්‍රමය ඔස්සේ එළිදක්වා ඇති අතර, මෙරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත පිළිගැන්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

හරීන් සහ මනූෂට පනවා තිබූ පක්ෂ තහනම ඉවතට

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.