පුත්තලමේ ජනතාව දේශපාලනයට එන ලෙස ඉල්ලීමක් කරනවා නම් ඒ ගැන සලකා බලන්න වෙනවා – සනත් නිශාන්තගේ බිරිඳ

තම ස්වාමි පුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම්, ඉදිරියේදී තමාට ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.

තමා තම ස්වාමියාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළද දේශපාලනයට පැමිණීමට කිසි දිනෙක බලාපොරොත්තුවක් නොතිබූ බවත්, දැනටත් එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බවයි ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65b393110de31pdf_page_0

මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැඟිය හැක්කේ කෙසේද යන්න සැලැස්මක් සියලු දේශපාලන පක්ෂවලට තිබිය යුතුයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවයි සඳහන් කළේ.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්,  මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවයි රේගු මූලස්ථානයේ දී අද (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65b3792b473depdf_page_2 65b3792b31b91pdf_page_1 65b37929f3ee9pdf_page_0

දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන දිනවල පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබාදී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

සනත් නිශාන්තගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය විමල්ගේ පක්ෂයේ ජගත් ප්‍රියංකරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප අනුපිළිවෙල අනුව ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා තිබෙනවා.

2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඔහු මනාප 40,527ක් ලබාගෙන තිබුණා.

ජගත් ප්‍රියංකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයක්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.

ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස Nikki Haley හා Ryan Binkley තරග වැදී ඇති අතර එහිදී ඔවුන් සියල්ල පරාජයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනාධිපතිතුමා සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳ කළ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිය මතකයන් සිහිපත් කළේය.

2007 – 2010 කාලසීමාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමීපව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර සන්තොෂ් ජාහ් මහතා බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.

දයාසිරි ජයසේකරට නිකුත් කළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා.

මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් අදාළ විරෝධතා ගොනුකිරීමටද අධිකරණය වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අතර, පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කරන ලද බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

දයාසිරි ජයසේකර විසින් වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයට නව නායකත්වයක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරීපත්වී තිබෙනවා.

ඒ අනුව අද (21) පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීමේදී මෙම පත්වීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහි අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු යැයි ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.

එම අභියාචනය ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකුවන ඕෂල හේරත් අදාළ අභියාචනය ගොනුකර ඇත්තේ, ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහු ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කිරීමෙන් සති දෙකකට පසුවය.

තමාගේ අභියාචනයේ වගඋත්තරකරු ලෙස රාජ්‍ය ඇමැතිවරිය ඇතුළු කිහිපදෙනෙකු නම් කරමින් ඕෂල හේරත් පවසා ඇත්තේ, ද්විත්ව පුරවැසිභාවය ද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තමන් මීට පෙර පෙත්සමක් ගොනුකළ බවයි.

කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් 2023 ඔක්තෝම්බර් 31 දින බෙදුම් තීන්දුවක් ලබාදුන් අතර, ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අභියාචනාධිකරණ තීන්දුව නීත්‍යානුකූල නොවන බවත්, රාජ්‍ය ඇමැතිවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවටත් පවසන ලෙස ඉල්ලා, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම ඇපෑල ගොනුකර තිබේ.