ලෝක දේශපාලනයේ වෙනස්කම් අනුව අපේ පක්ෂයත් වෙනස් වෙලා – විජිත හේරත්

ලෝක දේශපාලනයේ සිදුව ඇති වෙනස්කම් අනුව තම පක්ෂයද වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ, මෙම සංචාරය සඳහා ඉන්දියාව ආරාධනා කළේ, හදිසියේ නොවන බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බවයි.

80 දශකයේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් ශ්‍රී ලංකාවට තබූ බවත් අද වන විට එම දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්වී ඇති බවත් තම පාලනයක් තුළ සියලු රටවල් සමඟ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට සමගාමී වන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තම විදෙස් ප්‍රතිපත්තිය පැහැදිළිව එරට බලධාරීන්ට ප්‍රකාශ කළ බවත් ලෝකය සහ කලාපීය දේශපාලනයද වෙනස්වී ඇති අතර එයට සමගාමීව දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන්ද වෙනස්වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාවේ අමුල් සමාගම සමඟ සාකච්ඡා කිරීමේදී තමන්ට ගැටලුව ඇත්තේ රට තුළ කිසිඳු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොවීම සම්බන්ධයෙන් බවත් එය එම සමාගමෙන් විමසූ විට, එය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා රජයෙන් බවත් එහි වගකීමක් තමන්ට භාර ගැනීමට නොහැකි බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂ යෝගී ආදිත්‍යනාත් සමඟ සාකච්ඡා පවත්වයි

දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන ඇමැති යෝගි ආදිත්‍යනාත් සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

නාමල් මේ වන විට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයේ දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ගොස් සිටින්නේ අයෝධ්‍යාවේ රාම් කෝවිලේ පූජාවකට සහභාගී වීමටය.

ඉන්දියානු සංචාරය පස්වන හා අවසන් දිනය – 2024.02.09

ඉන්දියානු සංචාරය පස්වන හා අවසන් දිනය – 2024.02.09

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරලය විසින් හිමිකරගෙන තිබේ.

අද (09) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve මහතා හමුවී සාකච්ඡා කරන ලදී. P.Rajeeve ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක්ද වෙයි.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගත්හ.

ඉන් අනතුරුව එම පිරිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technoparkහි සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම Technopark 1990දී ආරම්භ වන්නේ කේරල ප්‍රාන්ත මහඇමති ඊ.කේ. නයනාර්ගේ පාලන කාලයේදීය. එයට අක්කර 800කට වැඩි භූමිභාගයක් අයත් වන අතර ගොඩනැගිලිවල වර්ගප්‍රමාණය වර්ග අඩි මිලියන 10.6ක් බව සඳහන්ය. සමාගම් 480ක් එය තුළ ක්‍රියාත්මක වන අතර වෘත්තිකයෝ 70,000කට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටිති. මෙය පරිපාලනය වන්නේ කේරල ප්‍රාන්ත පාලනය යටතේය.

අනතුරුව එම නියෝජිත පිරිස G Tech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ Kovalamහි Vellar අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමටද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවිය.

පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස 10වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

WhatsApp Image 2024-02-09 at 16.22.24 WhatsApp Image 2024-02-09 at 16.11.53 WhatsApp Image 2024-02-09 at 16.11.40

Online Safety පනතේ යම් යම් අඩුපාඩු තිබෙනවා – අධිකරණ ඇමති

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සම්මත කළ Online Safety පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවයි අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම පනත සඳහා ඇතුළත් කළ සංශෝධන නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කර සහතිකයක් ලබාදී ඇති බවත්, මෙය මේ වන විට සම්මත වූ පනතක් හේතුවෙන් විවාද කිරීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Online Safety පනත සම්මත කිරීමේදී රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

අධිකරණය ලබාදුන් තීරණ පැහැර හරිමින් Online Safety පනත සම්මත කිරීම, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පනත් කෙටුම්පතේ 16 වැනි සහ 19 වැනි වගන්ති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පැහැදිලිව සඳහන්ව තිබුණද, පනත සම්මත කර ඇත්තේ එම වගන්ති ඉවත් කිරීමෙන් තොරව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම තවත් වගන්තියක, අන්තර්ජාල සේවා සපයන්නෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට ඔන්ලයින් ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා මහේස්ත්‍රත් වරයෙකු විසින් ලබාදෙන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය නිර්දේශ කර තිබුණද, සම්මත වූ පනතේ ඇති වගන්තියෙන් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව එසේ නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථා ගණනාවකදී පනත සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත්, එය රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

එල්.කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (08) දිවුරුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

ඉන්දියානු සංචාරය – 2024.02.08 සිව්වැනි දිනය

ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූහ.

එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය. i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරයි. උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.

අනතුරුව අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිතය.

2024.02.07 දින ඉන්දියානු සංචාරයට අදාළ තවත් තොරතුරු

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ආයතනයේ හිමිකාරීත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කරගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.

එසේම ඔවුන් විසින් ලංකාවේ සිදුකිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර තිබේ.

මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත්කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛණිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J. Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වූහ. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරිමේ පහසුව, බලශක්ති ක්ෂේත්‍රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

WhatsApp Image 2024-02-08 at 15.53.40 WhatsApp Image 2024-02-08 at 15.53.25 WhatsApp Image 2024-02-08 at 15.49.51 WhatsApp Image 2024-02-08 at 15.49.33

අනුර කුමාර දිසානායකත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳයි – රෝහිත

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳ ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහුගේ ඉන්දීය සංචාරය සිදුකරන විට සිහිපත් වන්නේ 88-89 කාලයේ ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන බවට සඳහන් කරමින් කටයුතු කළ ආකාරය බවත්, එම අවස්ථාවේදී මිනිසුන් මරණයට පත් කර ඇතිකළ ඉන්දීය විරෝධය, ලෙංගතු කමක් බවට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඔවුන් එලෙස වෙනස් වන්නේ නම් එය හොඳ ප්‍රවණතාවක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මෙම වෙනස්වීමේ ස්වභාවය දෙස බැලීමේදී ගැටලුවක් මතුවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියානු සංචාරය – තෙවන දිනය

 

ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය Balvantsinh Rajput මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වනු ලැබූ අතර ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදු විය. බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වේ.

අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද සිදුවිය.

WhatsApp Image 2024-02-07 at 17.26.47 WhatsApp Image 2024-02-07 at 17.27.01

කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් අපේ අපේක්ෂකයාට විතරයි – රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වෙනත් ඕනෑම අපේක්ෂකයෙකු සිය වැඩ පිළිවෙළ ජනතාව ඉදිරියට ගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.