කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි.

තලතා අතුකෝරා​ල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා

අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා.

මෛත්‍රී රුපියල් මිලියන 100 ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යන දෙදෙනාට රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක මුදලක් ද වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබුණා.

මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට හදන්න හැකියාව මට තියෙන නිසා – රොෂාන් රණසිංහ

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට හැදීම සඳහා වන ධාරිතාවක් තමාට ඇති නිසා බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

රස්සාවක් හෝ අඩු තරමින් සිල්ලර කඩයක් හෝ නොකරන ලද මිනිසුන් පාලනය භාර ගැනීමට යටයුතු කරමින් ඇති බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මිනිසුන් ඇද රැස්වීම් පැවැත්වුවාට දිනන්නේ කවුරුන්දැයි තීන්දු කරන්නේ කසේදැයි ගැටලු සහගත බවයි  රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදයට එරෙහිව ජනක රත්නායකගෙන් පැමිණිල්ලක්

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති රූපවාහිනී දේශපාලන සංවාදයකට ජනාධිපති අපේක්ෂකයින් හයදෙනෙකුට පමණක් අවස්ථාව ලබාදීමෙන් අනිත් ජනාධිපති අපේක්ෂකයන් නොසලකා හැරීමෙන් ඔවුන්ට අසාධාරණයක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැතිවරණ කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කනේ ඉඳන් අඟ කන අය ගැන මට හොඳට පුරුදුයි – මහින්ද

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත්, අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එල්ල වන විවිධ බාධා තමන්ට හොඳින් හුරු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, “කනේ ඉඳන් අඟ කන අය ගැන මට හොඳට පුරුදුයි” යන්නයි.

සෑම කණ්ඩායමක්ම එක් කර ගනිමින් ජයග්‍රහණ කිරීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය One-stop Shop එකක් බවට පත් කරනවා – සජිත්

සිය පාලන කාලයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන “One-stop Shop” එකක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ගම් නියම්ගම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන 22 වැනිදා සිටම ක්‍රියාත්මක කරන ලෙස තමන් දැනටමත් ආයෝජකයින්ට ප්‍රකාශ කර ඇති බවයි ඊයේ (19) නාවලපිටියේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලය “One-stop Shop” එකක් බවට පත් කිරීමේ සංකල්පය රණසිංහ ප්‍රේමදාස යුගයේ ද ක්‍රියාත්මක වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාලිමා​වේ ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ – අනුර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණියහොත් අරම වෙයි මෙහෙම වෙයි කියමින් ප්‍රතිවාදීන් දැන් සමාජය තුළ බියක් මවමින් ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඉතිහාසයේ ඇතැම් ඝාතන පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක මෙහෙයුමක් සාදා ඇති බවද, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයම දියත් කර ඇත්තේ අවලාද සහ අසත්‍ය තොරතුරු මත පදනම්ව බවද ඔහු පෙන්වා දෙනවා.

කුරුණෑගල සජබ රැස්වීමේදී ජාතික ජන බලවේගය බලයට පැමිණියොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වන බවට සජබ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළ බවද, එම මන්ත්‍රීවරයා තම පක්ෂයට ඔහුව එක්කර ගන්නැයි කියමින් තිස් හතලිස් වතාවක් පැමිණ ප්‍රතික්ෂේප වූ මන්ත්‍රීවරයෙක් බවද ඔහු සඳහන් කළා.

කෙසේනමුත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් සිදු නොවන බවද, එහි පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මේක පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක් – රනිල්

තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ අනුව බෙදී වෙන්වීම සඳහා නොව පක්ෂ එකතු වී ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා සිදුකරන්නක් බව ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට ආරක්ෂා කිරීම වෙනුවෙන් තුන් සිංහලයම එකට එකතු වන්නේ තම මැතිවරණ ව්‍යාපාරය තුළ බවයි ඔහු සඳහන් කළේ.

තමා පක්ෂ භේදයකින් තොරව ස්වාධීනව ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත් වීමට තීරණය කළේ එබැවින් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා – අනුර

තම පාලනයක් තුළ PAYE හෙවත් උපයන විට බද්ද සඳහා දැනට පවතින සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම බද්දට යටත් වනුයේ ආදායම රුපියල් ලක්ෂ දෙකට පසුව පමණක් බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින ලක්ෂයේ සීමාව හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන් වැනි වෘත්තියවේදීන්ගේ වැටුපෙන් වැඩි කොටසක් ආණ්ඩුව බදු ලෙස කපා ගන්නා බවද, ඒ හේතුවෙන් ඔවුන් අඛණ්ඩව රට හැර යන බවද ඔහු පෙන්වා දුන්නා.

සීමාව ලක්ෂ දෙක කිරීමෙන් රජයට අහිමි වන්නේ රුපියල් බිලියන 54ක් පමණක් බවත්, දැනට බදු ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් බදු අයකරගැනීම හරහා එම මුදල පළමු වසර තුළදීම සොයාගත හැකි බවයි ඔහු අවධාරණය කළේ.