මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වීමට බාධා පැමිණ ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

පොරොන්දු වූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි මැතිවරණ කොමිසම දැනුම්දී ඇත්තේ.

ස.ජ.බ. විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගය සිදුකර තිබෙනවා.

කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණය කල් දැමීමට එරෙහිව ස.ජ.බ. අද කොළඹට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවයක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.

ආණ්ඩුව සිතා මතා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් ආණ්ඩුවට විශාල පරාජයක් අත්වේ යැයි ඔවුන් බියෙන් පසුවන නිසා මැතිවරණය නොපවත්වා කල් දැමීමට සෑම උත්සාහයක්ම ගනිමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අද කැඳවයි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එය කැඳවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම පෙත්සම ඉකුත් 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ අතර කෙසේ නමුත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කර තිබෙනවා.

ආර්ථිකය ප්‍රකෘතිමත් වූ පසු ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට පසුබිම සකස් වනු ඇති – ජනපති

රටක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව නීතිය හා සාමය අවශ්‍ය වන බවද, දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බවද, රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන අතර රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත් වීමත් සමඟ ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර සිටිනවා.

48c211c3c09a56f432cb9545d641772d

7b3a4dac07c150c46c94450e784e3fae

පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂම පවසනවා. මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා දින දෙකකින් මුද්‍රණය කළ හැකියි – මුද්‍රණ සේවක සංගම්

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ හැකියාව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 6 ක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බව මුද්‍රණ සේවක සංගම් පවසනවා.

උපරිම දිනයකින් හෝ දින දෙකකින් එය මුද්‍රණය කළ හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැඩි කාලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මැතිවරණයට බාධා කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනිය කටයුතු කරන්නේ දැයි යන බරපතල සැකයක් මතුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

පුංචි කාලේ ක්‍රිකට් ගහද්දි පරදින්න යනකොට බෝලෙ හංගනවා වගේ වැඩක් රනිල් කරන්නේ – ඩලස්

මැතිවරණය කල් දැමීමට කටයුතු කරමින් රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා සිදු කරන්නේ කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී කණ්ඩායමක් පරදින අවස්ථාව පැමිණෙන විට බෝලය සඟවනවා වැනි වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඡන්දය සම්බන්ධයෙන් හිතුවක්කාර ලෙස කටයුතු කළ අවස්ථා 5 ක් මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තා වන බවත් එයින් අවස්ථා 3 ක ප්‍රධාන වගඋතරකරුවා බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම අවස්ථා 3 සඳහා වත්මන් ජනාධිපතිවරයා එවක මන්ත්‍රීවරයෙක් ලෙස සෘජුව සම්බන්ධවූ බවත් ඔහුට මෙය හුරු පුරුදු ක්‍රීඩාවක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නැවත වතාවක් රටේ මිනී කඳු ගොඩගැහෙන තැනකට ඡන්දය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණය කල් දැමීමට සහාය දෙන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ජී.එල්. පීරිස්

මැතිවරණය කල් දැමීමට සෘජුව හෝ වක්‍රව සහාය දෙන සියලු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව නීතිය යටතේ පනවා ඇති දඬුවම් ක්‍රියාත්මක කරන තැනට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් ඡන්දය සැලසුම් කළ පරිදි පවත්වන්න තවමත් හැකියි – මැතිවරණ කොමිස​ම

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තවමත් හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම පමණක් මේ වන විට ප්‍රමාදවී ඇති බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කර තිබූ අතර කෙසේ නමුත් මුදල් නොලැබීමේ ගැටවුක් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ගැටළුවක් ඇති බවට රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කිරීමත් සමඟ තැපැල් ඡන්දය කල් දැමීමට කටයුතු කර තිබුණා.