දරුවන් දෙන්නෙක් ගැට ගසා දමලා මව අනෙක් දරුවා රැගෙන සිගමනේ ගිහින්

කතරගම, නාගහවීදීය යාල වන උද්‍යානයට ආසන්න ප්‍රදේශයක දීර්ඝ කාලයක සිට එළිමහනේ ගසක හා කොන්ක්‍රීට් කනුවක ගැටගසා සිටි ළමුන් දෙදෙනෙකු සොයාගෙන තිබේ.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන්ට ලැබුණු තොරතුරක් මත කතරගම පොලීසිය සමඟ එක්ව එම ප්‍රදේශය වෙත ගොස් මෙම ළමුන් දෙදෙනා සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

වයස අවුරුදු 9 ක් පමණ වන පිරිමි දරුවා කොන්ක්‍රීට් කණුවක ගැටගසා තිබී ඇති අතර වයස අවුරුදු 17 ක් පමණ වන ගැහැණු දරුවාගේ අත් ගසක ගැටගසා තිබූ බව සඳහන්වේ.

මෙම දරුවන්ගේ පියා මියගොස් ඇති බවත් මව තවත් ආබාධිත දරුවෙකු සමඟ කතරගම පූජා භූමියේ සිගමන් යදිමින් සිටින බවත් අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක් පුරා මෙම දරුවන් දෙදෙනා මෙලෙස ගැට ගසා මව අනෙක් දරුවා සමඟ  සිගමන් යැදීමට යන බවය.

සෑම දිනකම පස්වරුවේ බීමතින් පැමිණෙන මව දරුවන්ට පහර දෙන බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළ මව  සහ දරුවන් තිදෙනා ද පොලීසිය වෙත රැගෙන ගිය බව දේශීය මාධ්‍ය වාර්තාවලින් අනාවරණය විය.

ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ලට මුල් ගල

මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

නො. 37, හෝර්ටන් පෙදෙසකොළඹ 07 යන ස්ථානයෙහි ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිවන අතරමහල් 75 කින් සමන්විතය.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර හෝර්ටන් ස්කවෙයාර් (Horton Square) පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම අති නවීන නිවාස සංකීර්ණය මෙරට ඉදිවන උසින් වැඩිම ගොඩනැගිල්ල වේ. මෙය  දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුතුව ගොඩනැගෙනු ඇත.

මහානගර සංවර්ධන සැලසුමට අනුව තවත් නේවාසික ගොඩනැගිලි තුනක ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නහෝර්ටන් ස්කවෙයාර් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පෝල් කෙලීනාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් ඉංජි. සුමේධ රත්නායක යන මහත්වරුන් ද සහභාගී වූහ.

අමාත්‍ය ජෝන් අමරතුංග සමග මත ගැටුමක් -රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වී තිබේ

එජාප කටාන ආසන සංවිධායිකා, බස්නාහිර පළාත් මන්ත්‍රීනි රෝස් ප්‍රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ බැව් සඳහන් ලිපියක් තමන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හා පක්ෂ මූලස්ථානය වෙත යොමු කොට ඇතැයි ඇය අද (19) කාටාන එජාප කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළාය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක් අධිකරණ නියෝග මත නීත්‍යනුකූල ටෙන්ඩරයක් මගින් ලබාදී තිබියදී එයට පරිබාහිරව සංචාරක බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අධාරකරුවන්ටද කුලී වාහන බලපත් දෙන තත්ත්වයක් උදාවී ඇති බව ඇය කියා සිටියි.

මෙම කාරණයට අදාළව ජෝන් අමරතුංග මහතා හා තමන් අතර මත ගැටුමක් නිර්මාණයවූ බවත්, ඇමතිවරයාගේ මෙම යහපාලන විරෝධී ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බව රෝස් ප්‍රනාන්දු මෙනවිය අවධාරණය කළාය.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී මෙවන් යහපාලන විරෝධී ක්‍රියාවන් වහා නැවැත්විය යුතුව ඇති බවත්, තමන් කිසිවෙකුටත් ණය හෝ බය නැති බවත් ඇය කියා සිටියාය.

කුණු කන්ද නාය යෑම ගැන හොයන්න ජපානය එන්න තීරණය කරයි

මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යොමුකිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ඔවුන් විසින් ඊට අදාළව ඉදිරි සැලසුම් සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීමට නියමිත බව සඳහන්ය.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මියගිය පුද්ගලයින් සහ පීඩාවට පත් පුද්ගලයින් සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජපාන අග්‍රමාත්‍ය  ෂින් ෂෝ අබේ මේ බව දැනුම් දී තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් ජපාන අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම අවසනාවන්ත සිදුවීම පිළිබඳ ජපාන රජය සහ ජනතාව බලවත් කණගාටුව පළ කරන බවයි.

විපතට පත් ජනතාවට යළි සිය සාමාන්‍ය ජීවන තත්ත්වය උදාකර ගැනීම සඳහා ජපාන රජයේ පූර්ණ සහය ලබාදෙන බව ද ජපාන අග්‍රමාත්‍යවරයා සිය පණිවිඩයෙන් දැනුම් දී ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රණවිරු දිනයට හමුදා පෙළපාලි වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතුයි

එළඹෙන මැයි මස 8 වනදාට යෙදී තිබෙන රණවිරු දිනය නිමිත්තෙන් හමුදා  පෙළපාලි වෙඩිමුර  වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (18) ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව මෙවර රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාතේ අපිරිසිදු ස්ථාන
පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සැළසුම් කර ඇතැයිද අපිරිසිදු ජලය රැදෙන
ස්ථාන පිරිසිදු කිරීමට එහිදී මූලික අවධානයක් යොමු කරන බවද ඒ මහතා
වැඩිදුරටත් සදහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් මෙන්ම පාසල් බාලදක්ෂ කණ්ඩායම් වල
සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව කයිතඩි හී පිහිටි ළමා හා වැඩිහිටි නිවාස සදහා ආහාර වේලක් ලබාදීමට මෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සදහා සහභාගී වන සියලු දෙනාට නොමිලයේ ආහාර පාන ලබාදීමටත් පාසල් ළමුන් 1000ක් සදහා පාසල් උපකරණ බෙදාදීමට සැළසුම් කර ඇතැයි ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය සදහන් කරයි.

පැතිර යන ඩෙංගු උවදුරට පිළියමක් වශයෙන් සිදුකරන මෙම කාර්ය සදහා සහභාගී වන්නැයි ආණ්ඩුකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

කොළඹ නගරයේ එකතුවන කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබාදෙන ලෙසට කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් ඉල්ලයි

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබාදෙන ලෙසට කොළඹ මහ නගර සභාව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීක් කර තිබේ.

ඒ අනුව ඊයේ (අප්‍රේල් 17)  සිට එළඹෙන 28 වනදා දක්වා දිනකට මෙට්‍රික්
ටොන් 350 බැගින් කැස්බෑව කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව
මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දී  ඇත.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීම අනව  එම කසල බාරගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය  අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

කරදියාන අපද්‍රව්‍ය කළමණාකරණ අංශයේ සභාපතිනිය  මේ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එකගතාවය කලකඑ තිබෙන අතර පිළියන්දල කරදියාන කසල අංගනයට මේ වන විට පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර තිබේ

මී තොටමුල්ල කුණු කන්දට යටව අවසන් ගමන් ගිය හය දෙනෙකුගේ අවසන් කටුයුතු අද(16)

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය  අට දෙදෙනකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි.එහිදී මිය ගිය අයගේ ඥාතීන් චෝදනා කර සිටියේ දේහයන් බාර දෙන විට දැඩි ප්‍රමාදයක් සිදු වූ බවටයි.
මෘත දේහයන්  කිහිපයක් සදහා අවසන් ගෞරව දැක්වීම පිණිස (අද16) මීතොට මුල්ල ප්‍රෙද්ශයේ තාවකාලික ස්ථානයක තැන්පත් කර තිබුණු අතර ඔවුන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.
 මේ වන විට කුණු කන්ද කඩා වැටීමෙන් මිය ගිය   සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ අතර ළමුන් හය දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙන බවද වාර්තා වේ.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සුන්බුන්වලට යටවී තවත් පිරිස් සිටී ද යන්න සොයා බැලීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ ස්වේච්ඡා සංවිධාන ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

එම මෙහෙයුම්වලට බාධා වන අයුරින් ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීම සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඊයේ (15) දිනයේදී විපතට පත් නිවෙස්වල භාණ්ඩ සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයන්18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

කොළොන්නාව ටෙරන්ස් එන්.ද සිල්වා විද්‍යාලයේ සුබ සාධන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් මඟින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

රජයේ චක්‍රලේඛ නොසලකා අවශ්‍ය අරමුදල් කඩිනමින් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර තිබේ.

අලුත් අවුරුදු උණුසුම ශ්‍රී ලාංකික සිත්සතන්වලින් බැහැර කළ නොහැකි නමුත් මීතොටමුල්ලේ කදුළු ගැන සංවේදීව කටයුතු කරන්න

සිංහල හින්දු අලුත් අවුරුදු උත්කර්ශයේ උණුසුම ශ්‍රී ලාංකික සිත්සතන්වලින් බැහැර කළ නොහැකි නමුත් මීතොටමුල්ලේ සිදු වූ අනපේක්ෂීත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහාගෙන ඊට උපරිම දායකත්වය ලබා දෙමින් ආපාදා සහන ක්‍රියාවලියට මැදිහත් වන ලෙස රජය මාධ්‍ය ආයතන ඇතුළු සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටී.

එමෙන්ම පිළිගත් මූලාශ්‍ර පමණක් උපුටා දක්වමින් නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙසද රජය සියළු ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

කුණු දහනය කිරීමේ වැඩපිළිවෙළකට විශාල වියදමක් දැරිය යුතුයි – අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

මීතොටමුල්ලේ අද පවත්නා තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර මිය ගිය පිරිස් හා තුවාල වූවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

විපතට පත්වූ අය රඳවා ගැනීමට මේවන විට කඳවුරක් ස්ථාපිත කර ඇති බවත්, අවශ්‍ය ආහාර පාන රජය සහ පරිත්‍යාගශීලින්ගෙන් ලබාගෙන පහසුකම් සලසන බව අමාත්‍යවරයා අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

මෙවැනි අවස්ථාවක චක්‍රලේඛ හෝ වෙනත් කරුණු මත රැඳෙන්නට නොහැකි බවත්, ඒ නිසා දැනට කළ යුතු දේ ගැන තමන් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාතමක වන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අවතැන් වූවන් 80 ක පමණ පිරිසක් සිටින බවත්, උපරිම වශයෙන් 200ක් පමණ වෙතැයි උපකල්පනය කරන බවත්, ප්‍රමාණය කොපමණ වුණත් අවශ්‍ය උපරිම පහසුකම් සලසන බවත් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

මෙම කුණු කන්ද සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව කතා කර ඇති මුත්, නිශ්චිත විසඳුමක් අවශ්‍යව ඇති බව ඔහු පැහැදිලි කළේය.

සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීම ඒ සඳහා වන එක් විසඳුමක් බවත්, ඒකට කොරියාවේ ආධාර අරන් දොම්පෙ ප්‍රදේශයේ එවැන්නක් ස්ථාපිත කර ඇති බවත්, දැනට එහි රඳවන්නේ එම පළාතේ කසළ පමණක් බවත් අමාත්‍යවරයා සිහිපත්  කළේය.

කෙසේ වෙතත් එවැනි කසළ රඳවන 5ක් රට පුරා හදන්න ඒ කාලයේ යෝජනා වුණත් එය ක්‍රියාත්මක නොවුණු බවත්, එසේ වූයේ මන්දැයි තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම තවත් විසඳුමක් ලෙස කුණු දහනය කිරීමේ වැඩපිළිවෙළකට යා හැකි බවත්, ඒ සඳහා විශාල වියදමක්  දැරිය යුතු බවත්, ඒ මුදලට සාමාන්‍ය ජනතාවත් යම් ගෙවීමක් කළ යුතුව ඇති බවත්, ඒ සඳහා දැනට එක්තරා සමාගමක් සමග එම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මීතොටමුල්ල මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළට

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු ද වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

ඒ අනුව මියගිය පිරිස අතර වන කාන්තාවන්ගේ සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 12 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වන ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පවතින බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා  අද උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වුණි.