ලන්ඩනයේ ගිනි ගත් මහල් නිවාසයේ ශ්‍රී ලාංකිකයන් සිටි බව තවම වාර්තා වී නැහැ- රවී

ද(14) අළුයම බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ මහල් 24කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති සමග සාකච්ඡාවක

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කතාබහට ලක්වූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

එසේම එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා කැදවා ඇතැයිද ඒ සදහා තමාද සහභාගීවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද (ජුනි 14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ශ්‍රී ලන්කන් ගුවන්සේවට සේවක සේවිකාවන් 1250ක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුුම මත බදවා ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

ගං වතුරෙන් විපතට පත් අයට සමෘධි සහනාධාර

පසුගිය දිනවල ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ජනතාවගේ  නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු  කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් අද (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථ වලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.

වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි  ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයා විසින්  ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

එම ප්‍රදේශ වලට අමතරව දිවයිනේ සෙසු  ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

තමා අත් අඩංගවට ගැනීම නවත්වන්න – ඥානසාර හිමි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්   ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අධිකරණවාර්තා සනාථ කර සිටියි.

මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

උතුරේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙයි

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි. කුරුකුලරාජා මහතා වෙත එල්ලවී පවතින දූෂණ හා වංචා චෝදනා හමුවේ සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බවට පවසමින් කුරුකුලරාජා මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී ඇති බැව් පක්ෂ සාමාජිකයින් පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ සාමාජිකයින් පැවසූවේ තමන්ට තවදුරටත් පළාත් අමාත්‍යධූරයේ සේවය කළ නොහැකි බවට සඳහන් කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවයි.

එහිදි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා විසිල් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොමැති අතර, සේනාධිරාජා මහතා කුරුකුලරාජා මහතා වෙත පවසා ඇත්තේ තවමත් අදාළ චෝදනා සම්බන්ධයෙන් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය ලැබී නොමැති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

අදාළ අවස්ථාවේදී කුරුකුලරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නා ලෙස ලෙසට බලකොට ඇති බැවින් පසුව සේනාධිරාජා මහතා අදාළ ලිපිය බාරගෙන ඇති අතර,එය නිල සිදුවීමක් නොවන බවට පක්ෂ නියෝජිතයින් ප‍්‍රකාශ කොට ඇත.

පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් පැවසූවේ කුරුකුලරාජා මහතා විසින් පළාත් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා වෙත බාරදීම විහිළු සහගත ක‍්‍රියාවක් වන අතර, පළාත් සභා අමාත්‍යවරයෙකු පදවියෙන් ඉල්ලා අස්වීම සිදුකරන්නේ නම් ඉල්ලා අස්වීමේ  ලිපිය පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත හෝ පළාත් සභාව වෙත බාරදිය යුතු බවයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකානු සමාගමකට පැවරීමේ සූදානමක්

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමේ සූදානමක් පවතින බව රජයේ මිනින්දෝරු සංගමය සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉඩම් අමාත්‍යාංශය මඟින් සම්මත කර ගැනිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍යවරයාව සිටියදී ද අමාත්‍ය මණ්ඩලයට මෙවැනිම යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඇති වූ විරෝධතා සැලකිල්ලට ගෙන ඔහු  එය ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරිය යුතු බවට දැඩි ස්ථාවරයක පසුවන බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේය.

ගං වතුර බැස ගියා…ඊට පස්සෙ? සැගවුණු ගම්මාන දෙකක් තවමත් හුදකලාවේ

සටහන: නිරාශා පියවදනි
 

මහ මග අයිනේ අතොරක් නැතිව බලා සිටි මේ ඇස්  අපිව නතර කරන්නට සමත් වුණා. ඒත් අපිට ඕන වුණේ ගං වතුරෙන් විපතට පත් කළුතර වැසියන් රැදී සිටින කදවුරු සොයා ගිය ගමනට මං සලකුණු අසා ගන්නට. ඔවුන් අප කරා දිව  ආවේ දරා ගත නොහැකි කුසගින්න නිවා ගන්න මං සලකුණු සොයා ගන්නට.

එ් නිසාම මේ හමුව කුතුහලයෙන් අනූන හමුවීමක් වුණා.

 
“අපි මේ බැලුවෙ සහනාධාර දෙන්න ආපු කට්ටියක්ද කියලා. උදේ ඉදන් පාරට වෙලා බලන් ඉන්නෙ බඩගින්න නිසා. අපේ ගම් ගංවතුරෙන් යට වෙලා අද තමයි වතුර බැහැලා ගිහින් පාරට එන්න පුළුවන් වුණේ. මේ වෙනතුරු ග්‍රාමසේවකවත් වෙන කිසිම කෙනෙක් අපේ ගමට  ආවෙ නැහැ. ”
 
එතන සිටි එක අම්මා කෙනෙක් හඩ අවධි  කළේ එහෙම. ඇය නූර්දා. 
 
“මොකක්ද මේ ගම? ලිස්ටින් වත්ත”
 
“ඒ කිවුවෙ? අලුකෙටිය තමයි ගමේ නම. අපි ඉන්න වත්තට කියන්නෙ ලිස්ටින් වත්ත.
 
 පාරෙ ආධාර බෙදාගෙන යන අය මෙහෙම ගමක් තියනවද කියලවත් දන්නෙ නෑ.. තවත් මව්වරුන් දෙනෙකු එක්කාසු කරගෙන මහ පාර අයිනට වී බලා හිටි කතාන්දරය හෙළි කළේ එහෙම. ඇය කියපු විදියට ඒ ගම විතරක් නෙවෙයි ඇගේ ගම ළගින්ම ගලාගෙන යන කළු ගගෙන් එහා පැත්තෙ තියන කූල්ගා ගමටත් සිද්ධ වෙලා තිබුණෙ මේ ඉරණමමයි.”
Flood 18
මෙවර ගංවතුර තත්ත්වයෙන් වැඩිම ආපදාවට මුහුණ දුන් දිස්ත්‍රික්ක අතරින් කළුතර දිස්ත්‍රික්කයට හිමි වුණේ මුල්තැනක්. ඒත් කළුතර බුලත්සිංහල ප්‍රෙද්ශයේ පිහිටලා තියන මේ ගම්මාන දෙකට පින්වත් බලධාරීන්ගේ ඇස් යොමු වෙලා තිබුණෙ නැහැ. මාධ්‍යෙය්  උකුසු ඇස්වලටවත් හසු නොවී ඔවුන් හුදකලා වී සිටි හැටි පුදුමසහගතයි. 
 
කූල්ගා? ඔව් ඒ ගමානයේ නමනම් ඔබට වගේම මටත් ඉතාම නුහුරුයි. ඒ නුහුරුකම නිසාම වෙන්නඇති මේ අපේම අය මේ විදියට මගහැරෙන්න ඇත්තෙ.
Flood 22 Flood 23 Flood 24
 
කූල්ගා ගම්මානයේ සුබේදා හොරණ තක්ෂිලා විද්‍යාලයේ පුස්තකාලයේ සේවයේ නියුතු යෞවනියක්. ඇය තමන් මුහුණ දීපු ගංවතුර අත්දැකීම විස්තර කළේ මෙහෙම.
 
“ගංවතුර ආපු වෙලාවෙත් අපිට පිහිට වෙන්න කිසි කිනෙක් හිටියෙ නැහැ. අපි අපිම එකතු වෙලා ගමේ තිබුණු කැඩුණු බෝට්ටුවකින් කූල්ගා බංගලාවට ගිහින් බේරුණා. ඒත් මේ වෙනකන් වගකිවයුතු  කිසිම කෙනෙක් අපිට වචනෙකින්වත් පිහිටක් වෙන්න ආවෙ නැහැ. මීඩියා වලින් මේ අපේ ගමට ආපු පළවෙනි වතාව. 
Flood 15 Flood 16 Flood 17Flood 21 
අපිම ගිහින්  ආධාර ඉල්ලුවා. ඔයාලට වැඩිය හානි වුණු අය ඉන්නවා ඒ නිසා කිසිම ආධාරයක් දෙන්න බෑ කියලා කිව්වා. අපේ ගමේ ගෙවල් දෙකක් කැඩී ගිහින් විනාස වෙලා. පින් සිද්ධ වෙනවා කාටහරි පුළුවන්නම් විපතට පත් වුණු අපේ ගමේ අයට උදව් උපකාර කරන්න. “
 
ගංවතුර දැන් බැස ගිහින්. වතුරට යට වුණු ගෙවල් සහ ජනතාව දුටු සැණින්ම හදවත් උණු වෙලා ගිහින් ආධාර බෙදන්න යුහුසුළු වෙන්නෙ ශ්‍රී ලාංකිකත්වයේ තවමත් මැරිලා නැති මනුෂ්‍යත්වය නිසා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ජනතාව විසින්ම දුක් මහන්සියෙන් එක්රැස් කරලා ලබා දීපු ආධාර නිසි සැලසුමක් ඇතුව ආපදාවට පත් වුණු ජනතාව අතට පත් වුණාද?
 
ඒකට හරියටම උත්තර දෙන්න පුළුවන් ගංවතුරෙන් සැබෑවටම පීඩාවට පත් වුණු අයට විතරයි. වසර 15ක් පුරා ගංවතුර තත්ත්වයෙන් බැට කෑ කොළඹ ප්‍රෙද්ශයේ වැසියෙක් ගංවතුර ගැන ආරංචිය කණ වැකුණු සැණින් අපිව සම්බන්ධ කරගෙන කියූ මේ කතාව කූල්ගා සහ අලුකෙටිය ගම් වැසියන්ගේ කතාව වඩාත් සනාථ කරනවා.
 
“වතුර දැක්ක ගමන් මිනිස්සු හිත උණු වෙලා ආධාර අරගෙන දුවනවා. ඒත් ඒ කාටවත් හිතෙන්නෙ නෑ වතුරට යට වෙලා ඉන්න මිනිස්සු කොහොමද මේ ආධාර අරන් තියා ගන්නෙ කියලා. 
 
ලොරිවල පටවගෙන යන ආධාර වැඩි හරියක් යන්නෙ ගේ ඉස්සරහින්වත් වතුර පාරක් ගියෙ නැති පාර දෙපැත්තෙ ඉන්න ජනතාවට. ඒ අය දුවගෙන ඇවිත් බෙදන ආධාර ඩැහැ ගන්නවා. කෑම බීම වතුර බෙදුවට කමක් නැහැ. අනිත් කල් තියා ගන්න පුළුවන් වියළි ආහාර වෙනත් ආධාර මේ ගං වතුර බැහැලා යනකන් ඉවසීමෙන් ප්‍රෙව්ශම් කරලා තියා ගන්න. වතුර බැහැලා ගිහින් පාරවල් පැහැදිලි වුණාම පහසුවෙන් වාහනේකින් ගිහින් මේ අයගෙ අතටම දෙන්න. බෝට්ටුවකින් යනවට වඩා ආදාර බෙදන අයටත් පහසු ඒ ක්‍රමය. ඒත් බෝට්ටුවකින් ගිහින් අමාරුවෙන් ඒ අයට දෙන්න උත්සහ කරන්නයි වැඩි පිරිසකට ඕන. ඒකට හේතුව ආධාර බෙදන බොහොමයක් අයට ගංවතුරෙන් පීඩා විදීමේ නියම අත්දැකීම නැහැ. ඒත් මේ බෙදන ආධාරවල සැබෑ අවශ්‍යතාව මතු වෙන්නෙ ගංවතුර බැහැලා ගිහින් ගේ දොර විනාශ වුණු මිනිස්සු වැලේ වැල් නැතුව ආයෙ ජීවිතේ නැගිටින්න උත්සහ කරනකොට..ඒත් එතකොට කිසිම දෙයක් ඒ අයට ඉතුරු වෙලා නැහැ.
 
ඒ වගේම දෙන ආධාරයක් අතරමැදියන්ට නොදී විපතට පත් වුණු ජනතාව අතටම දෙන්න පුළුවන්නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ.”
 
මේ ශෝකාලාපය ඇසෙන්නේ කළුතරින් පමණක් නොවේ..රත්නපුර මාතර තෙලිජ්ජවිල ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද මෙවන් ඛේදනීය පුවත් රැසක් අපිට වාර්තා වුණා.
කුල්ගා සහ අලුකෙටිය ගමේ වැසියන් අයැද සිටින්නේ දහසින් බැදි පියලි නොවේ..නැගී සිටින්නට ශක්තියක් පමණි…තවමත් ආධර බෙදන පිරිස් සිටියිනම් ඔබේ කාරුණික නෙත් මේ සැගවුණු ගම් වැසියන් වෙත යොමු කරන්න.
 

Subedha – 0772635856 (කූල්ගා ගම්මානය)

Darshani   –0771144947 (අලුකෙටිය ගම්මානය)

සුනාමි අවදානමක් ගැන පැතිරුණු අසත්‍ය කට කතා වලට රැවටෙන්න එපා

අසත්‍ය ප්‍රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
යම් ආපදා තත්ත්වයක් ඇත්නම් අදාළ තාක්ෂණික ආයතන සමඟ එක්ව ආපදා කළනාකරණ මධ්‍යාස්ථානය නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේය.
සුනාමි අවදානමක් ඇති බවට පැතිරුණු අසත්‍ය කටකතාවක් හේතුවෙන් අද(05) පෙරවරුවේ හික්කඩුව  ප්‍රදේශයේ වෙරළබඩ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් පැවැති බවට වාර්තා වූ බව ඔහු මෙහිදී කියා සිටියේය.
කෙසේවෙතත් එවැනි යම් ප්‍රචාරයක් පිළිබඳව නිවැරදිව දැන ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන ලෙස ද ප්‍රදීප් කොඩිපිළි මහතා ජනතාවට දැනුම් දෙයි.

පාහියංගල නාය යාමේ අවදානමක

නායයාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳව බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
පාහියන් ලෙනේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ පරිශ්‍රය වෙත ගොස් විෂයභාර නිළධාරින් සමඟ සිදු කළ තොරතුරු විමසා බැලිමෙන් අනතුරුව අමාත්‍යරවරයා විසින් එම උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා ඇතුලු ක්ෂේත්‍ර  රැසක විද්වතුන් සම්බන්ධ කර ගනිමින් එම වාර්තාව ලබා ගැනිමට නියමිතව ඇත.

ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මකයි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය  ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්වේ.

එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.