ගෝඨාභය සහ මහින්ද ඇතුළු පිරිසකට කැනඩාවෙන් සම්බාධක

1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සිව් දෙනාට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි සඳහන් වන්නේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් සිය වගවීම ආමන්ත්‍රණය කරන ලෙස කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් බැඳීම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත්තේ සීමිත අර්ථවත් සහ සංයුක්ත ක්‍රියාමාර්ග පමනක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබාදීම කැනඩාව පිළි නොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් යවන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උසස් පෙළ පැවැත්වෙන කාලසීමා​වේ විදුලි කප්පාදුවක් නොකරන්න බලාපොරොත්තු වෙනවා – ජනක රත්නායක

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

විභාගය පැවැත්වෙන කාල සටහන විභාග දෙපාර්මේන්තුවෙන් ලබාගෙන විදුලි කප්පාදුවකින් තොරව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අතීතයට බලපාන ආකාරයට විදුලි බිල සංශෝධනය කරන්න බැහැ – ජනක රත්නායක

අතීතයට බලපාන ආකාරයට විදුලි බිල වැඩි කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි ඇති ගණනය කිරීම් වැරදි බැවින් ඊට අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

විදුලිබිල වැඩි කිරීමට අදාළ යෝජනාව ලැබුණේ ඊයේ දිනයේ බවත් මෙය සලකා බැලීම දින 45 ක 50 ක අතර කාලයක් යන බවත් විදුලිබල මණ්ඩලය අසාධාරණයක් නොවන ලෙසත් පාරිභෝගිකයන්ට සාධාරණයක් වන ලෙසත් සියලු කටයුතු සිදුකරන බවයි ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව පක්ෂ දෙකෙහි දිස්ත්‍රික් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්ව තරග කරන පළාත් පාලන ආයතන සහ වෙන් වෙන්ව තරග කරන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තීරණයකට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පුද්ගලයන් වෙනුවට රාජ්‍ය ආයතනවලින් PAYE බද්ද ගෙවීම අත්හිටුවමින් මෙම සතියේ චක්‍රලේඛයක්

උපයන විට බද්ද (PAYE) පුද්ගලයින් වෙනුවට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් උපයන විට බද්ද (PAYE) රජය වෙත ගෙවිය යුතු නමුත්, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලයින් වෙනුවට එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

eaf885fe1cdc89fda26c755cf87f6bd7

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එහෙත් එය ක්‍රියාත්මක කරන කාල රාමුවක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවයි සඳහන් වන්නේ.

ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධිය​කට පොලිස් නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියකට පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදේශිකයින් දෙදෙනා කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් අතර මීගහතැන්න පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටින බව පොලීසිය සඳහන් කළා.

වරාය නගර කොමිසමේ නිලධාරීන්ට මුදල් කාරක සභාවේ අප්‍රසාදය

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අධීක්ෂණය සඳහාද අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1713e1c145f298e6173b23cfb9bc242b

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළි ජාතික පද්ධතියට

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මඟින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා.

මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්ගේ (Ms. Auramon Supthaweethum, Director General of the Department of Trade Negotiations) ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

b4027dca166d1a309e9a9022c042adc4