හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ජුලි 9 අරගලය අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහස සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.

තෙල් සහ ගෑස් ගවේෂණයට අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර අවසන් – කංචන විජේසේකර

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර අත්සන් තබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මේ සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛණිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,

6c258716ff56d7514d51b6f159cda8ab

ගංජා පැළ සමඟ අත්අඩංගුවට SSPගේ වැඩ තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගෙන තිබුණා.

f37136267bed8db1e9033af563f13c6e

ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ ණය ගෙවන්න තවත් මාස 06ක කාලයක්

ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් සලකා බලමින් බංග්ලාදේශ රජය විසින් එරටින් ලබාගත් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා මෙම සහන කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.

මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.

ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට

ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගෙන තිබුණා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණා.

ආදර්ශා කරද​න ඇප මත මුදා හැරීමට නියෝග

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

අඛණ්ඩව විදුලි බලය ලබාදීමට සම්පත් අවශ්‍යයි – ලංවිම සභාපති

ලංකා විදුලි බල මණ්ඩලය අධ්‍යනයක් සිදුකර අඛණ්ඩව විදුලි බලය ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කර ඇති බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා.

කෙසේ නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වාදුන්නේ.

එසේම විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන්නේ විදුලි බල මණ්ඩලය මුහුණපා ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇති අවම හානිදායක ක්‍රමය එය නිසා බවත් ගල් අඟුරුවලට මුදල් ගෙවීමේදී දැඩි මූල්‍ය අර්බුදයක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවද අත්පිට මුදල් නොමැති නම් තෙල් ලබා නොදෙන බවට දැනුම් දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ආණ්ඩුව විසින් කිසිඳු මුදලක් ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ හොත් විශාල අර්බුදයකට ගමන් කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

comment loading imageමහජන ප්‍රතිචාර

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් පියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි අධිකරණය නියම කර තිබෙන්නේ.

වසන්ත මුදලිගේ පිළිබඳව සොයාබැලීමට මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාරයට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායම වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සඳහා එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.