උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව ගැන PUCSL වෙතින් මානව හිමිකම් කොමිසමට ලිපියක්

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට 2023.01.26 වන දින විධානයක් ලබාදී ඇති බව එම කොමිෂන් සභාව අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලය අදාළ විධානය පිළිපැදීමට අපොහොසත් වන්නේ නම්, කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මානව හිමිකම් කොමිෂමට ලබාදුන් ලිපියේ සඳහන් වන්නේ.

අදාළ සම්පුර්ණ ලිපිය පහතින්.

fabd27facd2a9cb13c248264c4d609e9

දියවන්නා වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයෙක් අතුරුදන් වෙයි

අද (26) අලුයම් කාලයේ දී දියවන්නා වැවේ මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් 18 හැවිරිදි තරු‍ණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇති අතර අතර ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

edbdcd3c325dfd973a1f89d375d4662f

තාරුණ්‍යය​ට හෙටක් සංවිධානය සම්බන්ධයෙන් පැවති නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී රු. ලක්ෂ 50ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළ බවට පැවරී තිබූ නඩුවෙන් මහාචාර්ය නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ශිෂ්‍යත්​ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙබරවාරි 28 දක්වා කල් ලබාදෙයි

ඊයේ (25) දිනයේ දී නිකුත් කරන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන්ට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පෙබරවාරි 28 වනදා දක්වා කල් ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA

මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත්වෙයි

2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

a97618f88952ed376109895234b26513.jprg

 

ගල් අඟුරු සංචිත පිළිබඳ​ව දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබාගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ප්‍රතිපත්ති සමාලෝචනයට හා විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පිළිබඳව ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඊට අදාළ මුදල් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල අමාත්‍යංශ ලේකම් සහ මහජ​න උපයෝගීතා කොමිසමේ සභාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ඉකුත් 23 වනදා මානව හිමිකම් කොමිසම එම නිලධාරීන් වෙත ලිපියකින් දැනුම්දී තිබුණා.

නමුත් ඒ පිළිබඳව දෙපාර්ශ්වයම විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ගම්පොලදී ATM යන්ත්‍රයක් සොරාගනී

ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (24) රාත්‍රි 12.40ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.