මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මිට්සුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කරයි

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ සන්නාමයක් වන මිට්සුබිෂි සමාගම මෙරට සිදුකරන මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේදී අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ අහිතකර ආර්ථික දැක්ම මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිම ද මිට්සුබිෂි සමාගමේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

විදුලි කප්පාදුවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට භූ කම්පනය සිදුවී පැය 100 ක පමණ කාලයක් ගතවී ඇති අතර සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

අධික ශිත කාලගුණ තත්ත්වය, නවාතැන්, ජලය සහ ආහාර නොමැතිව දිවි ගලවා ගත් දහස් ගණනකගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය උග්‍ර අතට පත්වෙලා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමකට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය සඳහා කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සඳහන් කළේ.

විදුලි බිල වැඩි කිරීම ගැන තීන්දුව 15 වැනිදාට පසු

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන 15 වනදායින් පසුව තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කෙරේ

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

253ba0cd1c29e1309fab6986ab4911d5

ආණ්ඩුව ගෙන ආ සංශෝධනවල අරමුණ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීම – GMOA

මූල්‍ය නොවන සේවාවන් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම හුදෙක් වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමට රජය ගත් පියවරක් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම සංශෝධන හරහා ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට බවයි.

මෙම සංශෝධනය හරහා ආණ්ඩුව අපේක්ෂා කරන්නේ වෘත්තීයවේදීන් අතර බෙදීමක් ඇති කිරීමට සහ වෘත්තීයවේදීන් මෙම සටනෙන් ඉවත්විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති කිරීමට බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් 4 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවළක් සහ ව්‍යාජ අංක තහඩු 3 ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 25, 26, 27 සහ 42 වයස්වල පසුවන අය වනවා. ඔවුන් මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ. මෙම වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.