තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මරණ දඬුවම

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.

2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබාදෙමින් එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

එවක තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වෙයි

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට අදාල ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 ක මුදලකට මිලදී ගැනීමට නියමිතයි.

එසේම තෙතමනය 14% ට වැඩි හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88 කට ලබා ගන්නා ලෙසයි වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ දක්වා තිබෙන්නේ.

විදුලි බිල වැඩි කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවෙනවා – විදුලි වෘත්තීය සමිති

විදුලි බිල යළි වැඩි කිරීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධතාව පළකළ යුතු බවයි.

66% කින් විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අසාධාරණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගම්පොළදී ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන ලබාදෙන ලෙස ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (2,850,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම අතර සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වෙයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (13) විදුලි බිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වූ බව ජාතික සභාවට දැනුම්දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අද (14) මේ බව ජාතික සභාවට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය හෙටට (15) පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාවට පවසා ඇති බැවින් හෙට දිනයේ අවසන් තීරණයක් අපේක්ෂා කරන බව එහිදී කතානායකවරයා සඳහන් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අද දිනයේ කොමිෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 33,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 29,605 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,576 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට වෘත්තීයවේදීන් අද රැස්වෙයි

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති 40 ක් මෙම රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මූල්‍යමය නොවන ප්‍රතිලාභ සඳහා ලබාදුන් සහන හරහා මෙම බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ලක් කළ හැකි බව ආණ්ඩුව විසින්ම පෙන්වාදී ඇති බවයි.

මාර්තු 15 වනවිට නිල ඇඳුම් රෙදි ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

මාර්තු මස 15 වනදා වනවිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මේ වන විට පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය වන 70% ක රෙදි චීනයෙන් පැමිණ ඇති බවත් පෞද්ගලික අංශයේ 30% ක් මේ වන විට නිම කෙරෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම උතුරු, උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවලින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.