අපිට ණය ගෙවන්න බැරි නම් ගෙදර තියෙන මොකක් හරි විකුණලා හරි ණය ගෙවන්න ඕන – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙය ගෙන එන බවත් මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර ආයතන කිහිපයක රජය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දක්වා සිටි අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ ආයතන සියල්ලම පාඩු නොලබන බවයි.

එහෙත් රටේ ණය ගෙවීමට ඇති බවත් ණය ගෙවීමට නොහැකි නම් ගෙදර ඇති කුමක් හෝ විකුණා හෝ ණය ගෙවීමට සිදුවන බවත් රජය ව්‍යාපාරවලින් ඉවත්විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනා ගමගේ සම්බන්​ධ නඩුව පිළිබඳව CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

උත්සව සමයේ ලෙඩ බිත්තර ගෙනල්ලා රට ලෙඩ කරන්න එපා – කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධානය

උත්සව සමයේ බිත්තර ආනයනය කර රට ලෙඩ කිරීමට සූදානම් නොවෙන ලෙස කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.

බිත්තර ආනයනය කර වෙළඳපොලට නිකුත් කළ පසු වෙළඳපොලේ බිත්තර මිල අඩුවන බවත් ඉන්පසු බිත්තර නිෂ්පාදකයන් විනාශවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාදෙනවා නම් සත්ව නිෂ්පාදන ආහාර ලංකාවට ගෙන ඒමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඒවා බෙදා හැරීම තුළින් බිත්තර නිෂ්පාදනය පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් 10 වනවිට මඩ පොහොර සියලුම දිස්ත්‍රික්කවලට

මෙරටට ලැබුණු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

යල කන්නය සඳහා මඩ පොහොර බෙදාහැරීම පසුගිය සඳුදා ආරම්භ වූ අතර අඟහරුවාදා දිනය අවසන් වනවිට මඩ පොහොර මෙට්‍රික් ටොන් 9,177 ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වනවිට ගොවින් විසින් ලබා ගෙන ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 994 ක් වන අතර ගොවීන් ලක්ෂ 12කට වී වගාව සඳහා මඩ පොහොර ලබාදෙන බවත් දින දෙකක් තුළ ගොවීන් 20,940ක් පොහොර ලබාගෙන ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාමසාන් උපවාසය හෙට ආරම්භ වෙයි

රාමසාන් උපවාස සමය හෙට (24) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

නව අඩ සඳ ඊයේ (22) දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය හෙට ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය ක⁣ළේ.

ලිස්ටීරියා රෝගී තත්ත්වය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක්

ලිස්ටීරියෝසිස් යනු බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගී තත්ත්වයක් බවත් එය මහා පරිමාණයෙන් වසංගත තත්ත්වයකින් යන රෝගයක් නොවන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මෙය සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම සිදුවන්නේ ආහාර මඟින් බවත්, එම බැක්ටීරියාවට ආහාර නිරාවරණය වීමෙන් පසු එය ආහාරයට ගත් විට මෙම රෝගය පැතිරිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

මෙය වසංගත තත්ත්වයකට යනු ඇතැයි අනියත බියක් ඇති කරගත යුතු රෝගී තත්ත්වයක් නොවන බවත් තමන් ගන්නා ආහාර, ජලය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කඩයිම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට Online ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතයින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.00 සිට පස්වරු 4.00 දක්වා කොටුව පොලිස් වසමේ, කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට නියෝගයක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 07 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බවයි.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දෙන නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ගුරු ස්ථාන මාරුවීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මකයි

දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා, විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.