උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් ඇරඹෙයි

ඊයේ (07) දිනයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා වැටලීම් 151ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීම් නිවාඩු දිනයන්ගේ ද ක්‍රියාත්මක අතර, රාජකාරී දිනයන්හීද වැටලීම් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දුම්රියක් පීලි පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබයි

ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය අද (07) දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව එළැඹෙන සඳුදා සමුළුවක්

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව එළඹෙන සඳුදා දිනයේ සමුළුවක් පැවැත්විමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසනවා.

සියලුම වෘත්තිකයන්, ශිෂ්‍ය ව්‍යාපාරය, මහජනතාව හා සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව එම සමුළුවේදී මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය සිදුකළ ලංකා IOC ඉන්ධන පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරනවා.

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ (06) තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාව අද සිට ආරම්භ වෙයි

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ක්‍රියාත්මක කරන විශේෂ මගී ප්‍රවාහන සේවා අද (07) සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, අද සිට ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා බස් රථ 7000 ක් පමණ යොදවා ඇති බවයි.

අද සිට ලබන 15 වන දින දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් ධාවනය සිදුවන බවත් 15 වනදා සිට 18 වනදා දින දක්වා පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පතිගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

88cde856776def58437724dae642c184

මහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීම සඳහා ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද කටයුතු කරනු ලබනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු සමඟ තවත් සාමාජිකයන් 6 දෙනෙකු පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ​ය නියෝග කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවිකිරීම අප්‍රේල් 15 වනදා වනවිට අවසන් කරන අතර පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.