සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි මස 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 15 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ගනුදෙනු නැකත වර්ජනය කරනවා – සමෘද්ධි වෘත්තීය සමිති එකමුතු​ව

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

සමෘද්ධි සේවකයින්ගේ දිරි දීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ සඳහන් කළේ.

උත්සව සමයේ නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි සඳහා නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව විශේෂ වැටලීම් සහ විශේෂ රථවාහන රාජකාරි සඳහා ද නිලධාරීන් වැඩි පිරිසක් නගර ආශ්‍රිතව යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

රථ වාහන හැසිරවීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවත් බීමත් රියැදුරන් හා අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

නගර වෙත පැමිණෙන ජනතාව සිය මුදල් සහ වටිනා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් ක්‍රියාකළ යුතු බවත් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු වැරදි ගැන වැටලීම් 1,500 ක් සිදු කරයි

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබාගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව එම වැටලීම්වලට අදාළ වෙළඳුන්ට ඉදිරි දින කිහිපයක තුළදී නඩු පැවරීමට පියවර ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්ෂා කිරීමට වැටලීම් කිහිපයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂා කිරීම අදත්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර වෙළඳසැල් පරික්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.

ඊයේ (08) දිනයේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළඳසැල් පරික්ෂා කිරීම සිදුකළ අතර එහිදී තලවකැලේ ප්‍රදේශයේ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

පාස්කු ඉරිදා දිනය අදයි

පාස්කු ඉරිදා දිනය අද (09) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය ලැබීම හෙවත් මරණයෙන් නැගී සිටීම සිහිකිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙනවා.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක්වන බවයි සඳහන් වන්නේ.

අද සෑම කිතුනු දෙව්මැඳුරකම විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර සියලු දෙව්මැඳුරුවලට විශේෂ පොලිස් රැකවරණය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කිසිඳු සේවකයෙකුට බෝනස් ලබාදුන්නේ නැහැ – ඛණිජ තෙල් සංස්ථාව

කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ලිඛිතව ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

පුවත් පතක පළවූ ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව සඳහන් කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි

බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි සඳහන් වන්නේ.

රජය ප්‍රති-ත්‍රස්ත පනත හකුලා ගත යුතුයි – Human Rights Watch

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් මූලික මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට බලය ලබාදෙන බව Human Rights Watch සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

රජය විසින් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බවත්, ඕනෑම ත්‍රස්ත විරෝධී පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට උපදේශන හරහා සහතික විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම පනත් කෙටුම්පත මගින් ගැටලු විසඳීම වෙනුවට දේපල හානි, සොරකම් හෝ මංකොල්ලකෑම් වැනි අපරාධ ඇතුළත් කිරීමට ත්‍රස්තවාදයේ නිර්වචනය පුළුල් කර ඇති බවත්, රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතිය සීමා කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අපිව බය කරලා දේශපාලන වේදකාවන් හදාගන්න බැහැ – නාමල් රාජපක්ෂ

ඇතැම් දේශපාලන පක්ෂ, සිය පාක්ෂිකයන් බියට පත් කොට දේශපාලන වේදකාවන් නිර්මාණය කරගත හැකි බවට සිතා සිටියත් එසේ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පසුගිය වසරේ මැයි 09 වනදා තම පාක්ෂිකයන්ට පහර දී ගෙවල් ගිනි තබා බේරේ වැවට දැමූ බව ද පොහොට්ටු රැස්වීම්වලට පැමිණෙන පිරිස් වහලුන් ලෙසද නම් කළ බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල හැසිරීම නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ඒ සඳහා වගකිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

නිවාස ගිනි තබා විනාශ කළ අයට අද වනතුරු ආණ්ඩුවෙන් වන්දි හිමි නොවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් සඳහා සාධරණයක් ඉෂ්ට විය යුතු බවයි.