අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ බස්රථ සේවා අදත් ක්‍රියාත්මකයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

අද දිනයේ අනෙකුත් දිනවලට වැඩි පිරිසක් බස් රථ භාවිතා කරන බවට අපේක්ෂා කරන බැවින් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවත් 14 වනදා දිනයේ බස් රථ කිහිපයක් පමණක් ධාවනය වනු ඇති බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

අද පාස්පෝට් ලබා ගැනීමට සිටින අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අද (12) විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද දින විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් මධ්‍යාහන 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එසේම අද දිනයේ වේලාවන් වෙන් කරවා නොගත් පිරිස් ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රදේශීය කාර්යාලවලට නොපැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

නව සීමානිර්ණ වාර්තාව අනුව තේරී පත්වන සභික සංඛ්‍යාව අඩු කෙරේ

නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වන සභික සංඛ්‍යාව අඩුකර ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714 ක් බවයි ඔහු සඳහන් කරන්නේ.

අද පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්

මෙරට සාගර කලාපයේ දී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරික්ෂණ අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමඟ එක්ව කටයුතු කරගෙන යන බවත්, එහි හානියේ වාර්තාවන් මේ වන විටත් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය පහතින්,

9ebe2b65e895b986fd1441a066b7a265

90a3aaaaf5e650f28dca164906b891e3

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ විකිණීම නොවෙයි – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබාදීමට එම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් හැකියාව ලැබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයට මෙම සමාගම් තුළින් නිශ්චිත බදු මුදලක් ආදායමක් ලෙස ලබා ගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ATM කාඩ් ​වලින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් මුදල් ලබාගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආහාර පනත උල්ලංඝනය ක​ළ වෙළෙඳසැල් 3,000 කට අධික ප්‍රමාණයක​ට නඩු

උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා වෙළඳසැල් 19,107ක් පරික්ෂාවට ලක් කර ඇති බවත් අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව මෙය සිදුකරන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් 0112 635 675 යන දුරකථන අංකයට දැනුම්දීමක් සිදුකළහොත් අවශ්‍ය සේවාව කඩිනමින් සම්බන්ධ කරදීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා මේ දිනවල ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

එසේම අවශ්‍යතාව අනුව අතිරේක පෞද්ගලික බස් රථද ධාවනයට එක් කරන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

විශේෂ දුම්රිය කිහිපයක්ද ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සොරකම් කළ බවට සඳහන් ජංගම දුරකථනයක් ගැන කටුනායක ගුවන්තොටෙන් ප්‍රකාශයක්

කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී එවැනි සොරකමක් පිළිබඳ සාක්ෂි සටහන් වී නොමැති කටුනායක ගුවන්තොටුපොළ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මේ බව සඳහන් කළා.

අදාළ ගුවන් මගියාගේ ජංගම දුරකථනය මෙරටට පැමිණීමට පෙර මැද පෙරදිග රටක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් දැනුම්දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ වහාම එහිදී එළඹ ඇති නිගමන පදනම් කරගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා පිවිසීමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ලෝක ආහාර උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි.

ඒ අනුව මේ වන විට 59% ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දසවන ස්ථානයේ පසුවන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

457f4924db2012ba86be7a04f0fcfc4a