ජනපති ජර්මනියේ නිල සංචාරයක් සඳහා පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ.

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම සංචාරයේ අරමුණ වන අතර ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉරාකයේ මංගල උත්සවයක ගින්නකින් පුද්ගලයින් 100 ක් මරුට

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර මනාලිය සහ මනාලයා ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගිණිකෙළි දැල්වීම මෙම අනතුරට හේතුව බවට එරට ආරක්ෂක අංශ සැක පලකරනවා.

2024 අයවැය නොවැම්බර් 13 පාර්ලිමේන්තුවට

2024 අයවැය යෝජනාව නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස 4 ක කාලයක් තුළ ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 1 වනදා සිට 2024 පෙබරවාරි මස 29 වනදා දක්වා වු කාලය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව Petrochina Inaternational (Singapore) Pte.Ltd යන සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

651281b207387

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

651254d3c5076pdf_page_0

බුත්තල සුළු භූ කම්පනයක්

බුත්තල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ අනුව රික්ටර් මාපකයේ 2.4 ක සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පවත්වන සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව මෙලෙස පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි.

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා සඳහන් කළේ.

එසේම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රජයට හිතකර නොවන මත මර්දනය සඳහා ආණ්ඩුව අණපනත් ගෙන එනවා – ජී.එල් පීරිස්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත මෑත කාලයේ රජය විසින් ඉදිරිපත් කරන අතිශය භයානක පනතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව මෙම අණපනත් ගෙඒම සිදු කරන්නේ ජනතාවගේ අදහස් මර්දනය කිරීමට බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රජය ජනතාවට බියවී ඇති බවත් ඒ හේතුවෙන් මැතිවරණ දිගින් දිගටම කල් දැමීමට කටයුතු කළ බවත් ලබන වසරේ එන ජනාධිපතිවරණය ආණ්ඩුවට කිසි ලෙසකත් කල් දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

එමනිසා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරණය ආසන්න වන විට රජයට හිතකර නොවන මත මර්දනය කිරීම සඳහා ප්‍රති ත්‍රස්ත පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව වැනි අණපනත් ගෙනැවිත් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ මාස​ය හරිම තීරණාත්මකයි – පාඨලී

මෙම මාසය ඉතාමත් තීරණාත්මක මාසයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම මාසය තුළ විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.

ඉතිරිව ඇත්තේ තව දින හයක් පමණක් බවත් තවමත් රජය එකඟතාවන්ට පැමිණ නොමැති බවත් එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමට ගැටලු ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව තවමත් ශ්‍රී ලංකාව ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ