අප්‍රේල් 20 වනදා දෙමුහුන් සූර්යග්‍රහණයක්

අප්‍රේල් 20 වනදා දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බැවින් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවන බවයි සඳහන් වන්නේ.

බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවදානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී සිටින ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මැතිණිගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් වෙන්නේ නැහැ – චන්ද්‍රිකා

දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දින සැමරුමට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිපත්ති පිළිගත්තා නම් ආණ්ඩුවට සොරකම් කිරීමට නොහැකි වනු ඇති බවත් රට හැදෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේදී පැය 30ක් ප්‍රමාද වු ශ්‍රී ලංකන් ගුවන් යානය දිවයිනට පැමිණෙයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණු බවයි සඳහන් වන්නේ.

ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊයේ (16) රාත්‍රී යළි ශ්‍රී ලංකාව බලා පිටත්වී අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

දකුණු මුහුදේ දී රුපියල් බිලියන 3.5 ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හා පුද්ගලයින් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 3.5 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 ක් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබිය දී නාවික හමුදාව, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඊයේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි රැඳවියන් පිරිසක් පලා යයි

බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් 9 දෙනෙකු අද (17) අලුයම පලාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ගෙන් දෙදෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පලාගිය රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට යළි සේවයට

අද (17) සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි එම සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

නව පාසල් වාරය හෙටින් ඇරඹෙයි

රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය හෙට (17) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2023 අප්‍රේල් 20 වනදා නව චක්‍රලේඛකයක් නිකුත් කරන බැවින්, එතෙක් අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට ලිපි නිකුත් නොකරන බවයි.

අධිවේගී මාර්ගයේ පැමිණෙන රියදුරන්ට ශ්‍රී ලංකා පොලීසියෙන් උපදෙස්

අධිවේගී මාර්ගයේ ඇතුළු වන ස්ථානවල සහ පිටවන ස්ථානවල බීමත් රියදුරන් පරීක්ෂාකිරීම සඳහා විශේෂයෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොසුදුසු වාහන සහ නොසුදුසු ආකාරයේ බඩු භාණ්ඩ පටවාගෙන එන වාහන ඇතුළුවීම සඳහා පැමිණෙන බවත්, අදාළ කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඉඩ ලබා‍ නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කොළඹ දෙසට පැමිණෙන මංතීරුවල, පිටවීම් මධ්‍යස්ථානවල යම් යම් තදබදයන් ඇතිවීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අධිවේගී මාර්ගයේ වාහන පෙළට පැමිණෙනවා හැරෙන්නට කිසිම අවස්ථාවක අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථානවල මංතීරුවෙන් ඉවතට ගොස් ගමන් කිරීමට උත්සහා‍ නොකරන ලෙසයි.

තමා පැමිණෙන මංතීරුවේ වාහන එක් පසක එකක් පමණක් පැමිණිය යුතු බවත් එම වාහනවලට සඳහා පමණක් පිටවීමට අවස්ථාව ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

බීමත් රියදුරන් සොයා පොලිසියෙන් මෙහෙයුම්

බිමත් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රථවාහන අංශයේ නිලධාරීන් කොළඹ සිට විහිදෙන ප්‍රධාන මාර්ගවල සේවයේ යොදවා ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් රථ වාහන පරීක්ෂාවට ලක් කළ හැකි බැවින් ඒ සඳහා සහය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ගංගා සහ මුහුදු ප්‍රදේශවල දිය නෑමට යෑමේදී සැලකිලිමත් වන ලෙසත් අනතුරු දායක ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.