රජය බලාපො​රොත්තු වූ ඉක්මනට IMF දෙවන ණය වාරිකය ලැබෙන්නේ නැහැ – ගාමිණී වලේගොඩ

රට හෝ රජය බලාපොරොත්තු වූ ලෙස ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය නොලැබෙන බව ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ පවසනවා.

ඒ අනුව එම ණය වාරිකය ලබා ගැනීමට නම් රජයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නව කොන්දේසි යටතේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට යාමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

රජය විසින් 2024 වර්ෂය සඳහා අයවැය දෙසැම්බර් 13 වනදා අනුමත කිරීමෙන් පසු එම දෙවන ණය වාරිකය ලැබීම බලාපොරොත්තු විය හැකි බවත් ඊට පෙර ඒ පිළිබඳව බලාපොරොත්තු තබාගත නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

රජය ඉස්සරහට එන්න හදන්නේ දැඩි මර්දන නීති එක්ක – ජෝසෆ් ස්ටාලින්

රජය මේ වන විට ප්‍රතිත්‍රස්ත පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත නමින් බරපතල පනත් දෙකක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

මේ හරහා සූදානම් වන්නේ විරෝධතා පාලනය කිරීමට සහ සමාජ මාධ්‍ය පාලනය කිරීමට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව රජය ඉදිරියට පැමිණීමට සූදානම් වන්නේ මර්දන නීති සමඟ බවත් තමන්ගේ පැවැත්ම වර්ගවාදය සමඟ තහවුරු කර ගැනීමට සූදානම් වන බවයි ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රීලන්කන් ගුවන් ගමන් ප්‍රමාදවීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්ලාස්ටික් වර්ග කිහිපයක් අද සිට තහනම් වෙයි

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බවත් ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මෙම තහනම යටතේ ප්ලාස්ටික් ගෑරුප්පු, හැඳි, පිඟන්, කෝප්ප, ඉඳිආප්ප වට්ටි, බීම බට සහ මල් මාලා ඇතුළු වර්ග 9 ක් මෙලෙස තහනම් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට බදු එකතු කිරීමේ ජාලය පුළුල් කළ යුතුයි – ශෙහාන් සේමසිංහ

මෙරට බදු එකතු කිරීමේ ජාලය පුළුල් නොකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට නොහැකිවීමට එක් හේතුවක් බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව බදු එකතු කිරීමේ ජාලය පුළුල් කළ යුතු බවයි ජන හමුවක් අමතමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය නිලධාරීන් ඇතුළු බදු ගෙවන පිරිස් වැඩියෙන් බදු ගෙවන බවත් අඩුවෙන් බදු ගෙවන පිරිස් සහ බදු නොගෙවන පිරිස විනිවිද භාවයෙන් ක්‍රියාත්මක නොකිරීම ප්‍රධන ගැටලුවක් බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා බිඳදමා කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

ඒ අනුව මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර එසේම මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

ගංගා ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර පෙන්වා දෙන්නේ.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලද පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ

ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එදින පෙරවරු 8.30  සිට 5.00 දක්වා වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති අතර දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LECO විදුලි බිල්පත්වලට 08 වැනිදා සිට නව බද්දක්

සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසනවා.

2023 සැප්තැම්බර් 08 වැනිදා සිට මෙම නව බද්ද එකතු කරන බවද, ඒ අනුව සැප්තැම්බර් මස විදුලි බිල්පත්වල සිට මෙම බද්ද පාරිභෝගිකයින්ට පෙන්නුම් කරනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Fitch Ratings ශ්‍රී ලංකාවේ එක් ණය ශ්‍රේණියක් උසස් කරයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය ‘RD’ (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට Fitch Ratings ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.